
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (20) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූයේ, ඡන්ද 134 ක් ලබා ගනිමිනි.

නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සටහනක්…
1949 වසරේ මාර්තු මස 24 වනදා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ මහත්මියට දාව දෙවන පුතු ලෙස උපත ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ ඔහු පසුව නීතිඥවරයෙක් ලෙස දිවුරුම්දී දුන්නේ ය.
මෙරට දේශපාලන හා සමාජ වෙනස්කම් රැසකට මුලපිරූ 1977 මැතිවරණයේදී බියගම ආසනය ජය ගමිනින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයායි.
අධ්‍යාපන, තරුණ කටයුතු රැකී රක්ෂා හා කර්මාන්ත අමාත්‍ය ධුර දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව බිහි කිරීමටත් නිදහස් වෙළඳ කලාප ඇරඹීමටත් පුරෝගාමී විය.
අධ්‍යාපන විද්‍යා පීඨ ඇති කිරීමට පුරෝගාමීව කටයුතු කළේ, වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේදීයි.
රනිල් වික්‍රමසිංහ මහතා 1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්විය.
6 වරක් මෙරට අගමැති ධූරයට පත්වූ වික්‍රමසිංහ මහතා වසර 17 ක පමණ කාල සීමාවක් වරින් වර විපක්ෂ නායක ධුරය ද දරා තිබේ.
ඔහු කලක් පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ද කටයුතු කළේ ය.