පල්ලියේ නීතිය කඩලා
පන්සලට පැමිණි ෆාතිමා
අප්‍රේල් 21 ඉරුදින පාස්කු ප්‍රහාරයෙන් තුන් මසක් පිරුණු තැන(ජූලි 21)රට පුරා විවිධ ආගමික වතාවත් සංවිධානය කෙරූ අතර
කල්පිටිය තෙහෙලිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ද ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකර ආගමික වතාවත් පැවැත්විණි.එහි පැමිණි පිරිස් අතර විශේෂ තැනැත්තියක් විය.ඇය පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ගුරුවරියක වන ෆාතිමා නුස්රත් විය.ඇය පන්සලට පැමිණියේ තනිවම නොව සිය ස්වාමි පුරුෂයා ද කැටුවය.
ඇය කෙරූ ප්‍රකාශ මෙසේයි.

“මේ වගේ පිරිත් පිංකමකට පන්සලට ආපු පළමු වතාව. මගේ මහත්තයා තමයි අද පළමු පිරිකරේ පූජා කළෙත්. ඒ වගේම පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මරණයට පත් ජනතාව සිහිකරලා පන්දමක් දල්වන්න මටත් හැකිවුණා,”
“අපේ ආගමේ කියලා තියනවා පිරිමි ගැවසෙන ස්ථානවල කාන්තාවන් ඉන්න හොඳ නැහැ කියලා. ඒ නිසයි අපි විශේෂ අවස්ථාවක හැර අපේ පල්ලියට නොයන්නේ . නමුත් අද මේ පිංකමට ආවේ ඒ නීතියටත් පිටුපාලයි . නීතියට වඩා ජාතික සමගිය වැදගත් වෙනවා.
“මේ පුද බිමේ අද සියලු ආගමිකයන් එකතු වෙලා ඉන්නවා . අපි ජාතික සමගිය, ජාතින් අතර සුහදතාව වර්ධනය කරන ඕනෑම වැඩකට එකතු වෙන්න දෙවරක් හිතන්නේ නැහැ. මගේ මහත්තයා පිරිකර පූජා කරන්න පෙර එය අරගෙන ජනතාව අතරට ගියාම මට ලොකු සතුටක් දැනුනා .මම හිතනවා ඒ අයටත් ඒ සතුට දැනෙන්න ඇති කියලා” යැයි ෆාතිමා නුස්රත් පැවසුවාය.
පසුව ඇය වඩාත් බැරෑරුම් හඬකින් පැවසුවේ, “සමහර විට අපේ අය කීප දෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් මට විශ්වාසයි ඒ කීප දෙනත් වැඩි කල් නොගොස් අපිට එකතු වෙනවා කියලා. මොකද අපිට දැන් අවශ්‍ය ජාතික සමගියයි,” යනුවෙනි.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය බහුතරය කතෝලිකයන් වුවත් එහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු අතර එහි පැමිණ සිටි පිරිස සර්ව රාත්‍රික පිරිත් සහ දානමය පිංකමක ද යෙදුණහ.
පිරිත් පිංකම ආරම්භ කිරීමට පෙර පාස්කු දින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකර පන්දම් දල්වනු දක්නට ලැබිණි.
මේ සදහා සියලු ආගම්වලට අයත් පුද්ගලයන් සහ ආගමික නායකයන් එක්වී සිටීම විශේෂත්වයකි.

