ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බවත් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට එහිදී එම නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.