in ,

“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි

visumpaya hotel

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටා ඇති සුවිසල් දෙමහල් ගොඩනැගිල්ල වූ (විසුම්පාය) කුඩා ප්‍රමාණයේ සුපිරි හෝටලයක් (Boutique Hotel) කිරීමට රජය තීරණය කර ඇත.

යටත් විජිත සමයේදී මෙරට ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබුණි. විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වී ඇති මෙම ගොඩනැගිල්ල මුලින්ම හඳුන්වනු ලැබුවේ ඇක්ලන්ඩ් හවුස් (Acland House) වශයෙනි. මෙය කොළඹ නගරය මැද පිහිටි පෞරාණික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසද හැඳින්විය හැක.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය. හිටපු ජනාධිපතිවරයකු වූ දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ යෝජනාවකට අනුව පසුව විසුම්පාය නවීකරණය කරන ලදී.

මේ අතර මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ ද වෙති. සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් ආදී අමාත්‍යවරුන් වරින් වර මෙම සුවිසල් ගොඩනැගිල්ල එසේ නිල නිවාසය වශයෙන් තෝරාගෙන තිබිණි.

පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක මහතා ද විසුම්පාය නිල නිවෙස කරගත්තේය. පසුව ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අභවප්‍රාප්ත වූයේද විසුම්පායේය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. මේ නිසාම බොහෝ රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ගේ තාවකාලික නවාතැන්පොළ ලෙසද මෙම ඇක්ලන්ඩ් හවුස් ගොඩනැගිල්ල භාවිත විය. ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මෙවැනි අතීතයක් පැවැති විසුම්පාය සුපිරි හෝටලයක් කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා කලකට ඉහත අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාවකට අනුව එය සම්මත විය. ඒ අනුව නොබෝ දිනකින්ම එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙය උසස් තත්ත්වයෙන් යුත් Boutique Hotel තත්ත්වයෙන් සුපිරි හෝටලයක් ලෙස ප්‍රතිසංස්කරණය වීමට නියමිතය. මේ වනවිට එහි මූලික සැලැස්ම සකස් වෙමින් පවතින අතර එය කාමර පහළොවකින් යුත් සුපිරි හෝටලයක් බවට පත්වනු ඇත. මේ දිනවල ඒ සඳහා ටෙන්ඩර් කැඳවමින් පවතී. 2020 වනවිට අති සුඛෝපභෝගී හෝටලය සාදා නිමකිරීමට බලාපොරොත්තු වෙයි.

මෙම සුපිරි හෝටලය ඉදිවීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික නායකයන් සහ විදේශිකයන් වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන් කිරීමට සැලසුම් කර ඇත. ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික නායකයකුට මෙම සුපිරි හෝටලයේදීම සාකච්ඡා පැවැත්වීම, අමුත්තන් මුණගැසීම ආදියට සුදුසු පරිසරයක් නිර්මාණය කෙරෙයි. විසුම්පාය භූමියේ බොහෝ ඉඩකඩක් ඇත. මේ නිසාම රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ට අවශ්‍ය ආරක්ෂාව ද, ආරක්ෂකයන්ට රැඳී සිටිය හැකි පරිසරයක් ද මෙම භූමියේම පවතී. මේ හේතූන් නිසා විසුම්පාය බොහෝ දුරට රාජ්‍ය තාන්ත්‍රික සහ ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සුපිරි හෝටලයක් බවට පත්වනු ඇත.

අද වනවිට විසුම්පාය ගොඩනැගිල්ල පවතින්නේ ඉතා අබලන් තත්ත්වයකිනි. සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතුවලදී එහි පවතින පෞරාණික වටිනාකම් කිසිදා වෙනසක් නොකරන්නට තීරණය කර තිබේ. නමුත් විසුම්පායේ වහළ ඇතුළු බොහෝ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙනු ඇත. ඒ සෑම අලුත්වැඩියාවක්ම සිදුකරනු ලබන්නේ විසුම්පාය ගොඩනැගිල්ලේ සුවිශේෂී නිමැවුමට කිසිදු හානියක් සිදු නොකරමිනි.

විසුම්පායේ ගෙමිදුලේ ඇති විශාල ඉඩකඩ එළිමහන් ප්‍රසංග සඳහාත් විවාහ උත්සව සඳහාත් වෙන් කෙරෙනු ඇත. මේ අතර විසුම්පාය සුපිරි හෝටලයේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාවක් ද උදා කර දී ඇත. විශේෂයෙන් ව්‍යාපාර ප්‍රජාවට මෙම සාමාජිකත්වය හරහා නිතර නිතර තම ව්‍යාපාරවල ගනුදෙනුකරුවන් මුණගැසී සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාව ලබාදීම එහි අරමුණය. ඕනෑම රටක සිටිනා තම ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ තම ව්‍යාපාර කටයුතු ගනුදෙනු කිරීම, සාකච්ඡා කිරීමට මේ හරහා අවස්ථාව උදාවනු ඇත.

සුපිරි හෝටලයක් බවට පත්වන විසුම්පාය හෝටලයෙන් ඉතා සුපිරි ආහාර වර්ග ලබා ගැනීමේ පහසුකම් ද ආරම්භ කෙරේ. යුරෝපීය ආහාර සඳහා එහි විශේෂත්වයක් හිමිවනු ඇත.

ඇක්ලන්ඩ් හවුස් සුපිරි හෝටලයක් වුවද එහි නාමයේ කිසිදු වෙනසක් නොවන අතර බොහෝ විය එය (Acland house by waters Edge) ලෙසින් නම් කරනු ඇතැයි ප්‍රකාශ වෙයි.

– දිශානි ජයමාලි කරුණාරත්න

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

spider man tabla playing

තබ්ලා ගහන ස්පයිඩර් මෑන්ගෙ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹලා [VIDEO]

athi vishesha price

අති විශේෂ ගල් බෝතලේ මිල 3200 යි: බද්ද 2906 යි