in , ,

ලංකා ඉස්ලාමීය රාජ්‍යයේ නායක සිහිනය දුටු කවුද මේ කාත්තන්කුඩියේ සහරාන්

saharaan සහරාන්

ඉස්ලාම් ප‍්‍රජාවගේ අති ශුද්ධ වූ රාමදාන් මාසය පසුගිය සඳුදා ආරම්භ වීමෙන් පැය 48 කට පසු පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිහිටි අති ජනප‍්‍රිය ඩාමා දර්බර් මුස්ලිම් පල්ලියට බෝම්බ ගසන ලදී. එම ප‍්‍රහාරයෙන් දස දෙනෙක් මියගොස් විසි හතර දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මෙම ප‍්‍රහාරයෙන් පැය කිහිපයකට පසු පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යාංශයට ඊමේල් පණිවුඩයක් ලැබිණි. එය එවා තිබුණේ තලේබාන් සංවිධානය විසිනි. පල්ලියට බෝම්බ ගැසූවෝ තමන් බව ඔවුහු කීහ. ඩාමා දර්බර් පල්ලිය වූකලී සුෆී නමැති ඉස්ලාමීය නිකායට අයත් පල්ලියකි.

එසේම එය දකුණු ආසියාවේ විශාලතම සුෆී මුස්ලිම් පල්ලියයි. පිපිරීම සිදුවුණේ එම පල්ලියේ කාන්තා දොරටුව අසලය. මේ පල්ලියට මෙයට අවුරුදු නවයකට පෙරදීත් බෝම්බ ගසන ලදී. එහිදී බැතිමතුන් හතළිස් දෙකක් මියගියහ.

මෙහිදී සුෆි යන්න ගැන පැහැදිලි කළ යුතුය. ඉස්ලාම් ආගම් කොටස් කිහිපයක් ඇත. සුන්නි ඉස්ලාමය මෙවැනි එක් කොටසකි. මහම්මත්තුමාගේ අයිතිවාසිකම්වලට කෙළින්ම උරුමකම් කීමට කෙනකු නොමැති බැවින් ඉස්ලාම් ආගමේ ඊළඟ නායකයා තෝරා ගැනීම බැතිමතුන්ගේ ඡන්දයෙන් කළ යුතු බව සුන්නිවරු කියති. ඔවුන්ට අනුව ඉස්ලාම් ආගමේ ඊළඟ නායකයා අබුබකර්තුමාය. ඔහු මහම්මතුතුමාගේ කිට්ටු මිතුරා සහ අනුගාමිකයකු ලෙස සිටියේය. අනිත් කණ්ඩායම වන ෂියා මුස්ලිම්වරුන් කියන්නේ මහම්මත් තුමාගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ මහම්මත්තුමාගේ බෑණාවන අලි බින් අබි කාලිබ් බවය. අබුබකර්තුමාගේ අනුප‍්‍රාප්තිකත්වයට ඔවුහු විරුද්ධය. තුන්වන කණ්ඩායම වන සුෆී ඉස්ලාම්වරු ගුප්ත ශාස්ත‍්‍රය විශ්වාස කරති. හදි හූනියම් වැනි අභිචාරවිධි ද ඔවුන්ගේ විශ්වාසයට අයත්ය. මේ හේතුව නිසා සුන්නි සහ ෂියා යන නිකාය දෙකේම අය සුෆීවරුන් අප‍්‍රිය කරති.ලංකාවේද සුෆී මුස්ලිම්වරුන් හට අනෙකුත් පාර්ශවයන් දෙක විවිධ තර්ජන කරති.ලාහෝරයේ සුෆි පල්ලියට බෝම්බ ගැසූ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය මූලස්ථානය කරගත් අන්තවාදී සහ මූලධර්මවාදී කණ්ඩායමකි. ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට නායකත්වය දුන් 34 හැවිරිදි සහරාන් හෂීම්ද මූලධර්මවාදී සුන්නි ඉස්ලාමීයයෙකි.

ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්(SLTJ) සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ සහරාන් හෂීම් එයින් ඉවත්ව ජාතික තව්හිද් ජමාත් සංවිධානය(NTJ) පිහිටුවා ගනී. එයට හේතුව ඉස්ලාමීය අන්තවාදය පතුරුවනු පිණිස ඔහු විසින් කරන ලද ප‍්‍රචණ්ඩ යෝජනා කිහිපයක්ම ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කිරීමය. ඔහුගේ ප‍්‍රචණ්ඩ අදහස් ප‍්‍රමාණය ඉක්මවා ගිය අතර 2018 වන විට ඔහු විසින්ම සාදන ලද ජාතික තව්හිද් ජමාත් සංවිධානය තුළද ඔහු ප‍්‍රතික්ෂේප වීමට පටන් ගත්තේය. ඒ අනුව තවත් දස දෙනකු සමග එක්වූ සහරාන් හෂීම් ජාතික තව්හිද් ජමාත් සංවිධානයෙන් ඉවත් වී ‘තව්හිද් ජමාත් දේශය’ නමැති සංවිධානයක් පිහිටුවා ගත්තේය. එම කණ්ඩායම පසුව ISIS සංවිධානය සමග සෘජු සම්බන්ධතා ගොඩනගාගත් බව දැනගන්නට තිබේ. මෙතැන් සිට ඉස්ලාමීය ත‍්‍රස්තවාදය පැතිරවීම සඳහා අවශ්‍ය ශ‍්‍රම බළකාය සහරාන් විසින්ද බෝම්බ තැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය ISIS සංවිධානය විසින්ද සපයන ලද බව සඳහන්ය.

♦♦♦ ♦♦♦ ♦♦♦ ♦♦♦

මොහොමඞ් සහරාන් මොහොමඞ් හෂීම් හෙවත් අබු උබයිදා (මෙය ඔහුගේ ත‍්‍රස්තවාදී නාමයයි) 1985 දී නැගෙනහිර පළාතේ කාත්තන්කුඩියේදී උපන්නේය. කාත්තන්කුඩිය ඉතා කුඩා ප‍්‍රදේශයකි. මෙහි වර්ග ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් 2.56 කි. මේ භූමිය තුළ 47603 ක ජනගහනයක් වෙසෙති. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් සහිත ප‍්‍රදේශය කාත්තන්කුඩියයි. ඒ නිසාම මෙය බහුල ලෙස ව්‍යාපාර කටයුතු සිදුකෙරෙන භූමියක් බවට පත්ව ඇත. තවදුරටත් විස්තර කරන්නේ නම්, මඩකලපු දිස්ත‍්‍රික්කයේ වැඩිම ව්‍යාපාර ප‍්‍රමාණයක් සිදුකෙරෙන භූමිය කාත්තන්කුඩියයි. ශ‍්‍රී ලංකාවේ පළමුවන ඉස්ලාමීය මධ්‍ය මහා විදුහල 1930 දී කාත්තන්කුඩියේදී පිහිටුවන ලදී. මේ නිසා මේ ප‍්‍රදේශයෙන් උගත්තු බොහෝ දෙනා බිහි වූහ. නැගෙනහිර පළාතේ ව්‍යාපාර වැඩිහරියක් කාත්තන්කුඩියේ වැසියන්ට අයත්ය.

මෙයට දශක තුනකට පමණ පෙර සිට කාත්තන්කුඩි වැසියන්ගේ වෙළෙඳ ආර්ථිකය යම් තරමකට වෙනස් විය. ඒ එහි පිරිමින් මැදපෙරදිග රැකියා සඳහා යන්නට පටන් ගත් නිසාය. ඔවුන්ගෙන් වැඩි දෙනා ආපසු සිය රටට ආවේ වහාබ්වාදීන් ලෙසය. මෙහිදී වහාබ්වාදය කුමක්ද යන්න හඳුන්වා දිය යුතුව ඇත. මෙය ඉස්ලාමීය ප‍්‍රතිසංස්කරණ වාදයකි. වහාබ්වාදියා අන්ත මූලධර්මවාදියකු වන අතර අල්ලා දෙවියන් කෙරෙහි අතිශයින් විශ්වාසය තබා වෙන කිසිදු දෙවියකු විශ්වාසයෙහි නැති බව විශ්වාස කරයි.

 

 වහාබ්වාදයේ පීතෘවරයා 1703 සිට 1792 දක්වා සවුදි අරාබියේ ජීවත් වූ මොහොමඞ් ඉබන් අබ්ද් අල් වහාබ් නමැති පූජකයාය. සුෆි ඉස්ලාම්වරුන්ගේ ගුප්තවාදය සහ අතීතයේදී මියගිය ඉස්ලාමීය පූජකවරුන්ගේ සොහොන් කොත් වන්දනාමාන කිරීමේ සුන්නි ඉස්ලාම් පුරුද්ද යනාදිය බැහැර කළ මොහොමඞ් ඉබන් අබ්ද් අල් පූජකයා සවුදි අරාබිය පුරෝගාමී නායකයා ලෙස සැලකෙන මොහොමඞ් බින් සාවුද් (1726-1765) සමග මිත‍්‍රත්ව ගිවිසුමක් ඇති කරගෙන සවුදි අරාබිය පුරා වහාබ්වාදය පැතිරවීමට පටන් ගත්තේය. පසු කාලයේදී ඊජිප්තුව, මොරොක්කෝව, කුවේට්, තුර්කිය, ඉන්දුනීසියාව, මැලේසියාව, සෝමාලියාව, ලෙබනනය යන රටවලට වහාබ් වාදය පැතිර ගියේය. අද වන විට ඉන්දියාව සහ ඇමෙරිකාව යන රටවලද වහාබ්වාදීහු සිටිති. කාත්තන්කුඩිය වහාබ්වාදයේ ගොදුරක් මෙන්ම වහාබ් කොලනියක් බවට කෙතරම් දුරට පත්වී ඇත්ද යන්න එහි යන කෙනකුට දැක බලා ගත හැකිය. මෙහි සිටින තරමක් ගැහැනු ‘අබායා’ නමැති කළු පැහැති දිගු ගවුම සහ බුර්කා පැළඳ සිටිති. වැඩුණු හැම පිරිමියකුගේම මුහුණේ ඝන රැවුලක් ඇත. පාරවල් දෙපස සහ ගෙවතුවල රට ඉඳි ගස් සිටුවා ඇති අතර කඩ සාප්පුවල නාම පුවරු සියල්ලම පාහේ ලියා ඇත්තේ අරාබි අකුරුවලිනි. මෙහි ඇති විශේෂිතම කාරණය නම් කාත්තන්කුඩියට අයත් වර්ග කිලෝ මීටර් 2.56 තුළ මුස්ලිම් පල්ලි 60 කට වඩා තිබීමය. මේ පල්ලි වැඩිහරිය වහාබ් පල්ලි වෙයි. මේ නිසා කාත්තන්කුඩිය මේ රටේ වහාබ්වරුන් වැඩිම පිරිස සිටින ප‍්‍රදේශයයි. මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කාරණයක් තිබේ. 1990 දී මෙහි පල්ලියකට කඩාවැදුණු LTTE ත‍්‍රස්තයෝ දෙවියන් වඳිමින් සිටි ඉස්ලාමියයන් 147 දෙනෙක් වෙඩි තබා මැරූහ. 2004 සුනාමියේදී මෙහි වැසියෝ 201 ක් මළහ.

හෂීම්ගේ පියා හයාත් මොහොමඞ් හෂීම්ය. මව සම්තාය. කාත්තන්කුඩි ටවුමේ හෂීම් පවුල ජීවත් වූ නිවස විය. දරුවන් පස් දෙනෙකුගෙන් යුතු හෂීම් පවුලේ වැඩිමහලූ දරුවා සහරාන්ය. සහරාන්ගේ සෙසු සහෝදරයෝ සෙයිත් සහ රිල්වාන්ය. මදනියා සහ යසීරා යනුවෙන් සහෝදරියෝ දෙදෙනෙක් ද ඔහුට වූහ. අද වන විට මේ සියලූ දෙනා විවාහපත්ව දරුවන් ලැබූ අය වෙති. සහරාන් 2010 දී විවාහ විය. ඔහුගේ බිරිඳ කුරුණෑගල දිස්ත‍්‍රක්කයේ නාරම්මලට අයත් කැකුණගොල්ල ගමේ ජීවත්වූ හාදියා නමැති තරුණියකි. කැකුණගොල්ල ජාතික පාසලේ ඇය උගත්තාය. මේ යුවළට දියණියක් සහ පුතෙක් ලැබිණ. අද වන විට දියණියගේ වයස අවුරුදු 8 කි. පුතාගේ වයස අවුරුදු 4 කි.

සහරාන් හෂීම් උගත්තේ කාත්තන්කුඩියේ රජයේ පාසලෙනි. ඔහු අපොස සා.පෙළ තෙක් උගෙන 2001 විජයතුල් අල් මද්රාසා නමැති ආගමික පාසලට ඇතුළු විය. කාත්තන්කුඩියේ අංක 4 දරන කොට්ඨාසයේ මේ පාසල පිහිටා තිබුණි. ආගමික පාසලේ ගත කළ මුල් කාලයේදී ඔහු ඉතා දීප්තිමත් ශිෂ්‍යයකු වූ අතර ක‍්‍රමයෙන් ප‍්‍රචණ්ඩත්වයට පත්ව ගුරුවරුන් සමග ගැටුම් ඇතිකර ගන්නට පටන් ගත්තේය. ඒවා ප‍්‍රධාන වශයෙන් මත ගැටුම්ය. ගුරුවරුන් දැරූ සාම්ප‍්‍රදායික ඉස්ලාමීය මතවාදවලට ඔහු විරුද්ධ වූ අතර මූලධර්මවාදී මතවාද වෙනුවෙන් ඔහු දැඩිසේ පෙනී සිටියේය. ඒ අතර ඔහු අරාබි බස පිළිබඳව දැනුම මහත්සේ පුළුල් කරගත්තේය. අනතුරුව තව්හිද්වාදයට ඇබ්බැහි විය. (තව්හිද් යනු වහාබ්වාදයටත් එහා ගොස් ඒකදේවවාදය ප‍්‍රවර්ධනය කරන්නකි. ඉස්ලාමයට අනුව එකම දෙවියා අල්ලාය. මෙය Oneness හෝ Monotheist ලෙස හඳුන්වනු ලැබේ.) ඒක දේවවාදියා අන්තවාදී ඉස්ලාම් භක්තිකයකු වූ විට වැඬේ හොඳටම අවුල්ය. ඔහු නිතරම උත්සාහ කරන්නේ සෙසු දෙවිවරුන් අදහන අය සංහාරය කිරීමටය. මෙය එක්තරා මානසික මට්ටමකි.

ඉස්ලාමීය දේවධර්ම ගුරුවරුන් සමග ගැටුමක් ඇති කරගත් සහරාන් ඔහු උගත් අල්ෆාටා මද්රාසා පාසලෙන් පළවාහරින ලදී. ඒ 2007 දීය. ඔහු මේ පාසලේ දිගටම අධ්‍යාපනය ලද්දේ නම් එළියට එන්නේ මවුලවි කෙනකු ලෙසය. එහෙත් පසු කාලයේදී සහරාන්ගේ අනුගාමිකයන් විසින් ඔහු හඳුන්වන ලද්දේ සහරාන් මවුලවි ලෙසය. ඔහු කිසි විටෙකත් එම ආමන්ත‍්‍රණය ප‍්‍රතික්ෂේප කළේද නැත. පාසලෙන් පළවා හරින ලද සහරාන් 2007 දීම ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට බැඳුණේය. සහරාන් හෂීම් ඉතා හොඳ දේශකයෙකි. ඔහු දෙමළ සහ අරාබි යන භාෂා දෙකෙන්ම ආගමික දේශන පැවැත්වීය. මේ භාෂණ හැකියාව නිසා ඔහුගේ අනුගාමිකයෝ පුදුමයට පත්වුණැයි කියනු ලැබේ. ඉතා සුළු කාලෙකින් කාත්තන්කුඩිය පුරා ජනප‍්‍රිය වූ ඔහුට ආගමික දේශන සඳහා දිවයිනේ විවිධ පළාත්වලින් ආරාධනා ලැබීණ. ඔහු මුල් යුගයේදී දේශනා පවත්වන ලද්දේ තමන් විසින්ම අටවා ගන්නා ලද කුඩා ලෑලි මඩුවකය. දේශනයක් සඳහා වයඹ පළාතට ඔහු ගිය ගමනේදී සිය අනාගත බිරිය වූ හදියා ඔහුට හමුවිය. ඔවුහු නොබෝ දිනකින් විවාහ වූහ.

තවුහිද් ජමාත් ලෙස හඳුන්වා ගන්නා සංවිධාන ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඇත. තමිල්නාඩුවේ තිබෙන තව්හිද් ජමාත් සංවිධානය සහ ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත්(SLTJ) සංවිධානය අතර කිට්ටු සම්බන්ධයක් තිබෙයි. තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානය ඉතා ධනවත් සහ ඉතා විශාල ආයතනයක් නිසා එයට අවනත වී වැඩ කරන්නට ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් සංවිධානයට සිදුවිය. එය නොරිස්සූ ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ අන්තවාදී මතධාරීන් පිරිසක් එයින් ඉවත් වී සිලෝන් තව්හිද් ජමාත් නමැති සංවිධානයක් ඇතිකර ගත්හ. මේ අතර ලෑලි මඩුව තුළ දේශන පවත්වමින් සිටි සහරාන් ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට බැඳුනේය. එහෙත් ඔහුගේ අන්තවාදී අදහස් නිසා එම සංවිධානයෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය. ඉන්පසු ඔහු ජාතික තව්හිද් ජමාත් නමැති සංවිධානයක් පිහිටුවූයේය. මෙම සංවිධානය සමග සිලෝන් තව්හිද් ජමාත්(CTJ ) හෝ ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත්(SLTJ ) සංවිධානවලට සම්බන්ධයක් නැත.

ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිහිටුවූ සහරාන් වෙබ් අඩවියක් ද ඇති කළේය. මෙය ඔස්සේ ඔහු විසින් ඉදිරිපත් කෙරුණ දේශන කියැවූ සහ ඇසූ ශ‍්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ ඉස්ලාමීය ප‍්‍රජාව මහත් ප‍්‍රමෝදයට පත්වූහ. විශේෂයෙන්ම අරාබිකරයේ සේවය කරන තමිල්නාඩු ඉස්ලාමියෝ මෙකී වෙබ් අඩවියට වශී වූහ. ඒ සමගම සහරාන් ෆෙස්බුක් පිටුවක්ද ඇරඹීය. ඒ සමගම ජාතික තව්හිද් ජමාත් සංවිධානය වෙත ආධාර ගලන්නට විය. තම ලෑලි මඩුව ගලවා විසිකළ සහරාන් එම ආධාරවලින් නවීන මුස්ලිම් පල්ලියක් ඉදිකළේය. එය අදටත් කාත්තන්කුඩියේ පිහිටා තිබේ.

ඉතාම පුදුමයට තුඩුදුන් කරුණ නම් මෙකී අලූත් පල්ලියට පැමිණි බැතිමතුන් ගණන ඉතාම ස්වල්පයක් වීමය. එහෙත් සහරාන් එළිමහනේ පැවැත්වූ දේශන ඇසීමට විශාල පිරිස් පැමිණියහ. සමහර විට කාත්තන්කුඩියේ ටවුම වටේ ගිය සහරාන් තැන් තැන්වල නැවතී කුඩා පිරිස් එක්රැස් කර ආගමික දේශන පැවැත්වීය. මේ හැම දේශනයකින්ම කියැවුණේ ඒකදේවවාදය පිළිබඳවය. සෙසු ආගම් මිථ්‍යාදුෂ්ටික බවද ඔහු එළිපිටම කීවේය.

ජිහාඞ් නමැති ශුද්ධ වූ යුද්ධයේදී ආගම වෙනුවෙන් ප‍්‍රාණය පූජා කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මේ අතර සහරාන්ගේ කීර්තිය දෙගුණ කරන දෙයක් සිදුවිය. එනම්, ඊජිප්තුවේ කයිරෝ නගරයේ අල් අසාර් විශ්ව විද්‍යලයේ සේවය කළ ඉස්ලාමීය ආචාර්යවරයෙක් කාත්තන්කුඩියට පැමිණියේය. දෙමළ කතා කළ ඔහු සහරාන්ගේ ආගමික අන්තවාදයට දැඩි ලෙස විරෝධය පළකළේය. මෙයින් කෝපයට පත් සහරාන් තමා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙසට ඔහුට අභියෝග කළේය. ඉස්ලාමීය ආචාර්යවරයා අභියෝගය භාරගත්තේය. නියමිත දිනයේදී කාත්තන්කුඩියේ අලියාර් හන්දියේ එළිමහනේදී 3000 ක පිරිසක් මැද ප.ව. 3.00 ට විවාදය පටන් ගත්තේය. එය පැය 10 ක් එක දිගට ගලා ගිය අතර සහරාන්ට ජය හිමිවිය. එයට ප‍්‍රධාන හේතුව වූයේ ඉස්ලාමීය විද්වතාගේ දෙමළ භාෂණයට වඩා සහරාන්ගේ දෙමළ භාෂණය චතුර වීමය.

සහරාන්ගේ ඊළ`ග පියවර වූයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා රට පුරා සංචාරය කිරීමය. එම සංචාරවලින් පසු තව්හිද් ජමාත් සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය 600 දක්වාත් එසේ නොවන සාමාජිකත්වය 4500 දක්වාත් ඉහළ ගියේය. ඉන්පසු තමිල්නාඩුවටත්, මාලදිවයිනටත්, මැදපෙරදිග රටවලත් ගිය ඔහු විවිධ ජනකොටස් හමුවී දේශන පවත්වන්නට විය. සහරාන් නිසා සාම්ප‍්‍රදායික ඉස්ලාම් පල්ලිය දෙදරනු දක්නා ලදී. ඔහුගේ අන්තවාදී මතවාද නිසා සාම්ප‍්‍රදායික ඉස්ලාමීය මවුලවිවරුන්ගේ හිත් රිදෙන්නට පටන් ගත්තේය. අනතුරුව සහරාන් විසින් ඉස්ලාමීය ආගමික විනය පිළිබඳ රතු ඉරි සියල්ල ඉවත්වනු ලබන හැටි දක්නා ලදී. ඔහු ISIS සංවිධානයට පක්ෂව ප‍්‍රසිද්ධියේම කතා කරන්නට පටන් ගත්තේය. ඒ අතර 2014 දී ලෝක ඉස්ලාමීය රාජ්ය සංකල්පය ප‍්‍රකාශයට පත් කළ ISIS සංවිධානය සහ එහි නායකයා වූ අබුබකර් අල් බග්දාදි එතැන් පටන් ලෝක ඉස්ලාමීය රාජ්යයේ මෙන්ම ලොව පුරා සිටින බිලියන 1.5 ක් වූ ඉස්ලාමීය ජනයාගේද නායකයා (තාලිෆ්වරයා) බවද සහරාන් කීවේය.

මේ හැරවුම් ලක්ෂයේදී සහරාන්ගේ තත්ත්වය බෙහෙවින් සංකීර්ණ විය. ISIS සංවිධානයට ප‍්‍රචාරය දීම සඳහා ඔහු පැය 24 පුරාම වැඩ කළේය. එහි මිනීමරුවන් මනුෂ්‍ය ඝාතන කරනවිට ඒවාට පසුව Facebook පිටුවල POST පළකළේය.

මේ කාලය වන විට සහරාන් හෂීම් සිටියේ මහත් වූ අධිතක්සේරුවකය. තමා දෙවැනි විය හැක්කේ අබුබකර් අල් බග්දාදිට පමණක් බව ඔහු මිතුරන්ට කියා තිබිණි. බග්දාදිගෙන් පසු ලෝක මුස්ලිම් රාජ්යයේ නායකයා වීමේ සිහිනය ඔහුගේ යටි හිතේ තැන්පත්ව තිබිණි.

කාත්තන්කුඩියේ අරියාල හන්දියේ බදුරියා නමින් හැඳින්වෙන ඉස්ලාමීය පල්ලියක් තිබේ. මෙය ගුප්ත විද්‍යාව සහ වෙනත් අභිචාර විධි ඇදහූ සුෆී ඉස්ලාමීය පල්ලියකි. සහරාන් හෂීම් ඇතුළු වහාබ් මුස්ලිම්වරු මේ පල්ලිය කෙරෙහි මහත් වෛරයෙන් පසු වූහ. එයට පාඩමක් උගැන්වීමට කල්පනා කරමින් සිටි සහරාන්ට අදහසක් පහළ විය. ඒ අනුව ඔහු 2017 මාර්තු 16 වැනිදා අරියාල හන්දියේ, බදුරියා පල්ලිය පෙනෙන දුරින් රැස්වීමක් සංවිධානය කළේය. සහරාන්ගේ අනුගාමිකයන් 100 ක් පමණ කඩු පොලූ රැගෙන රැස්වීමට පැමිණියහ. රැස්වීම පටන් ගත් විට දේශකයන් විසින් පවත්වන ලද හැම කතාවකින්ම බදුරියා පල්ලියට පහර ගහන ලදී. අපහාස කරන ලදී. පල්ලිය තුළ සිටි සුෆී පූජකයෝත් බැතිමතුනුත් මෙයින් කෝපයට පත්ව තවදුරටත් ඉවසාගෙන සිටීමට බැරි තැන රැස්වීමට හූ කියා ගල් ගසන්නට වූහ. වහාම ක‍්‍රියාත්මක වූ සහරාන්ගේ මැර පිරිස පල්ලියට කඩාපැන සුෆි අනුගාමිකයන් කපන්නට වූහ. මෙය ඉස්ලාමයේ නාමයෙන් කළ අපරාධයකි. ඒ බව කාත්තන්කුඩියේ මුස්ලිම් ජනයාට අවබෝධ විය. මෙයට පළිගැනීම සඳහා බදුරියා පල්ලිය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී. එය පැවැත් වුණේ කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාරය ඉදිරිපිටය. විරෝධතා රැලිය ප‍්‍රකෝපකාරී නිසා එයට පොලිස් මැදිහත්වීමත් ඇතිවිය. එම මැදිහත්වීමේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ 9 දෙනෙක්ද බදුරියා පල්ලියේ දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලදී. එසේ කූඩු කළ අය අතර සහරාන්ගේ සොහොයුරා වූ සෙයිද් නමැත්තාද විය. පොලිසියට සහරාන්ද අවශ්‍ය විය. ඔහු මාලදිවයිනට පැන ගිය බව පසුව ආරංචි විය.

එහෙත් සත්‍ය වූයේ කාත්තන්කුඩියෙන් පැනගිය සහරාන් සිය බිරිඳගේ ගමට ගොස් සැගවීමය. කලබල සංසිඳුන පසු ඔහු ඉන්දියාවට පැන ගන්නේය. එහිදී තමිල්නාඩු සහ කේරළ ප‍්‍රාන්තවල සංචාරය කළ ඔහු එහි සිටි ඉස්ලාමීය අන්තවාදීන් හමුවී ලංකාවේ ජිහාඞ් යුද්ධයක් පටන් ගැනීම ගැන සාකච්ඡා කළේය. ඔහු ඒ දිනවල වැඩිපුරම සිටියේ කේරළයේ මාලපුරම් දිස්ත‍්‍රික්කයේ සහ කොයිම්බටෝර්වලය. ඊට අමතරව ඉස්ලාමීයයන් බහුලව සිටින තිරුනල්වේලි, වෙල්ලෝර්, නාගපත්නම්, කනයාකුමාරි, රාමනාදපුරම් යන ප‍්‍රදේශවලද ඔහු සංචාරය කළේය.ඔහු ලංකාවට එන්නේ අමුම අමු ඉස්ලාමීය ත‍්‍රස්තවාදියකු ලෙසය. ඒ ත‍්‍රස්තවාදියා දුටු නපුරුම සිහිනය වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයයි.
ජාතික සංවිධාන මගින් කොතෙක් කියුවද අවසානයේ එවකට පැවති රජයේ නොසැලකිල්ල නිසා එම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවිය.

සහරාන්

සහරාන් පාස්කු ප්‍රහාරය

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Coronavirus :කොරෝනා වැළඳී මියගිය හෙද නිවුන් සොහොයුරියෝ [VIDEO]

කිත්තානේ කිනත්තේ…..අපන් තෙපුල සොමි……[VIDEO] හැමෝම වැළඳ ගත්තු ගීතය