in , ,

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

covid mask fashion

වසංගතයක් පැවතියද, මිනිසුන් දෛනිකව දහස් ගණනින් මියගියද ඒ අතර ජීවිතයේ නව මං සොයා යෑම සහ ජීවිතය රස විඳීමට මිනිසා ක්‍රියා කරමින් සිටී. කෝවිඩ් – 19 මේ වන විට මිනිසුන් අතරට බොහෝ අලුත් දේ තිළිණ කර අවසන්ය. සමාජ දුරස්ථතාව, නිරෝධායනය මෙන්ම නිවසේ සිට වැඩ කිරීමද මිනිස් සමාජයට අලුතින් එක්වූ මේ වන විට සුලබව ව්‍යවහාර කෙරෙන වචන බවට පත්ව තිබේ. මේ සියල්ලටම වඩා මිනිසුන් අතර පොදු බවට පත්ව ඇත්තේ ‘මුව ආවරණයි’. මේ වන විට ලෝකයේ සෑම වැසියකු සතුවම මුව ආවරණ එකක් හෝ පවතින බව අනුමාන කළ හැකිය. ඒ අතරින් ඇතැම් මුව ආවරණ විෂ බීජ වනසා දමන සුවිශේෂ ගුණාංගවලින්, වායුව පහසුවෙන් පෙරනයට ලක්වන බැවින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති නොවන මුව ආවරණ වේ. එහෙත් ඇතැම් මුව ආවරණ හුදෙක් රෙදි කඩක් පමණි.

මේ සියල්ල අතර මුව ආවරණ පැලඳ වයිරසයෙන් ආරක්ෂා වීම මිනිසුන් පොදුවේ උත්සාහ ගනිමින් සිටින විට ජපාන වැසියන් ලෝකයේ මිල අධිකම මුව ආවරණ නිපදවමින් සිටින බව වාර්තා වේ.

සම්පූර්ණයෙන් විෂ බීජ ඇතුළු නොවන සේ සකසා ඇති ආරක්ෂිත මුව ආවරණ සාමාන්‍යයෙන් මිල අධිකය. ඒවා සාමාන්‍ය ජනතාවට මිලදීගෙන එදිනෙදා භාවිත කිරීමට නොහැකිය. එහෙත් ජපානයෙන් අසන්නට ලැබෙන මේ සුවිශේෂ මුව ආවරණ මිලෙන් ඉතා ඉහළ වන අතර, කිසිසේත්ම එදිනෙදා සාමාන්‍ය ගමන්බිමන්වලදී භාවිත කිරීමට නොහැකිය. එයට හේතුව මේ මුව ආවරණ මිලෙන් අධික දියමන්ති මෙන්ම මුතු, මැණික් යොදා අලංකාර කර ඇති බැවිනි.

ජපානයේ කොක්ස් කෝ මාස්ක් කම්පැනි නම් වන සමාගම මේ නවතම මුව ආවරණ පසුගිය සතියේ සිට වෙළෙඳපොළට ලබා දී තිබේ. මේ මුව ආවරණවල ඇති තවත් එක් සුවිශේෂ කරුණක් වන්නේ මේ මුව ආවරණ සියයට සියක්ම මිනිස් දෑතින්ම නිපදවීමයි.
ඒ සඳහා කිසිඳු යන්ත්‍රසූත්‍ර භාවිතයක් සිදු නොවන අතර සියුම් මැණික් සහ දියමන්ති ද මිනිස් දෑතින්ම ඉසියුම් මැහුම් රටා ඔස්සේ යොදමින් මුව ආවරණ හැඩ කෙරෙනු ලැබේ.

සාමාන්‍ය මුව ආවරණ සමඟ මෙවැනි මුව ආවරණ නිපදවීමේ මේ සමාගමේ අරමුණ වී ඇත්තේ වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ලෝක වාසීන් පුදුමයට සහ සතුටට පත් කිරීම මෙන්ම ඔවුන්ට වසංගතය අතරතුර නව විලාසිතාද හඳුන්වා දීමය. කොක්ස් කෝ මාස්ක් සමාගම මේ විලාසිතා හඳුන්වා ඇත්තේ ‘කොවිඩ් -19 විලාසිතා’ යනුවෙනි.

මේ අතරින් මිලෙන් අධිකම මුව ආවරණවලට ක්‍රාත් 0.7ක බරෙන් යුතු දියමන්ති යොදා ඇති අතර ස්වාරොස්කි ක්‍රිස්ටල් නම් වන මිලෙන් අධික දියමන්ති 300ක් එක් මුව ආවරණයකට යොදා තිබේ. මුතු යෙදූ මුව ආවරණ වෙනම ඇති අතර එවැනි එක මුව ආවරණයකට ජපානයේ සුවිශේෂී ‘අකෝයා මුතු’ 330ක් යොදා තිබේ. මේ මුව ආවරණයක මිල ජපන් යෙන් මිලියනයකි. එය ඩොලර්වලින් නම් ඩොලර් 10,000කට ආසන්නය.

“මේ දිනවල මිනිසුන් බෙහෙවින් විඩාපත් වෙලා ඉන්නේ කිසිවකුගේ සිනහවක් දකින්නට ලැබෙන්නේ නැහැ. හැම දෙනාම තමන්ගේ මුව ආවරණය කරගෙන ඉන්නේ.

ඉතින් සැබෑ මුතු, දියමන්ති මගින් තමන්ගේ මුහුණ සුන්දර කර ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි. එවැනි දිලිසෙන මුහුණක් දැකීමත් බොහෝ දෙනෙකුට සතුට ගෙන දෙන කරුණක් වේවි.” කොක්ස් කෝ මාස්ක් සමාගමේ අසුසා කජිකතා තම සමාගමේ අලුත්ම නිෂ්පාදනය සම්බන්ධව දක්වන්නේ එවැනි අදහසකි.

“ඒ විතරක් නෙමෙයි, වසංගතය හේතුවෙන් ආභරණ කර්මාන්තය මෙන්ම ෆැබ්‍රික් කර්මාන්තයත් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ.

මේ මුව ආවරණ හරහා අපට එම කර්මාන්තවල යෙදෙන්්නටත් නව අවස්ථා සලසා දීමට හැකියාව ලැබිලා තිබෙනවා” ඔහු වැඩිදුරටත් එසේ සඳහන් කර තිබේ.

මෙම මිලෙන් අධික මුව ආවරණවලට අමතරව සාමාන්‍ය මිලෙන් යුතු මුව ආවරණද මේ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදා හරිමින් තිබේ.

එම මුව ආවරණ වර්ග 200ක් යටතේ කැමති වර්ණයකින්, කැමති මෝස්තරයකින්, කැමති පහසුකම්වලින් යුක්තව මිලදී ගැනීමේ හැකියාව තිබේ.

මේ මිලෙන් අධික මුව අවාරණ සම්බන්ධව මේ වන විට ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතින අතර, ඇතැම් පාරිභෝගිකයන්ගේ මතය වී ඇත්තේ මුව ආවරණයට ගැළපෙන ලෙස සෙසු ඇඳුම්ද මිලෙන් අධික විය යුතු බැවින් මෙවැනි මුව ආවරණයක් පමණක් මිලදී ගැනීම කළ නොහැකි බවයි.

එහෙත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ලොව මිලෙන් වැඩිම මුව ආවරණ මේ ජපන් මුව ආවරණ නොවන බවයි. මේ විලාසිතා ගැන කල්තබාම කල්පනා කළ ඊශ්‍රායලයේ ‘යූල්’ නම් වන මෝස්තර නිර්මාණ ශිල්පියා දැනටමත් ලොව මිලෙන් අධිකම මුව ආවරණ නිපදවා තිබේ.

මේ එක් මුව ආවරණ සඳහා ඔහු කැරට් 18 රත්රන් ග්‍රෑම් 250 බැගින් යොදා තිබේ. මේ මුව ආවරණය මිල ඩොලර් මිලියන 1.5කි.

-Silumina

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සිංගප්පූරු මවකට කොවිඩ් ප්‍රතිදේහ ඇති දරුවකු ලැබිලා

child abuse in sri lanka

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක්