දිනය මැයි 20 වැනිදාය. වේලාව සවස 5ට පමණ ඇත. වෙනදා මෙන් මීගොඩ නඩුහේන මුතුහේනවත්ත ජනතාව සිය කටයුතු කරගෙන ගියහ. සවස කඩපිළට ආ උදවිය ලහි ලහියේ ගමේ කඩෙන් බඩු ගත්තේ කොරෝනා ඇඳිරි නීතිය ඒ වනවිටත් ඉවත් නොවීම නිසාය.
සිය දෛනික රාජකාරි කටයුතු කළ අනුරද ගමේ කඩේට ගියේ නිවෙසට අවශ්‍ය අඩුමකුඩම ටිකක් ගැනීමටය. කඩේට තව කිහිපදෙනකුද පැමිණ සිටි නිසා ඔහු තමන්ගේ වාරය පැමිණෙන තුරු මීටරයේ දුර තියාගෙන සිටියේය.

ගතවූයේ නිමේෂයකි. වාහනයක් පැමිණ කඩය අසල නතර විය. වාහනයෙන් බැස්සේ දන්නා කියන අයෙකි. ඔහු නමින් කළුතර මාමාය.
වෙනදාට කළුතර මාමා දකින ගමේ උදවිය කොහොමද මාමේ අද ද එන්නේ කියා හෝ විමසන්නේ ඔහුට තිබූ ළෙන්ගතුකම නිසාමය. ඒ තරමටම කළුතර මාමා මුතුහේනවත්ත ප්‍රදේශයේ ජනප්‍රියය.
නමුත් පසුගිය 20දා එසේ වූයේ නැත. කළුතර මාමා රියෙන් බැස නිවෙසට ගෙන යෑමට බිස්කට් පැකැට්ටුවක් ගැනීමට කඩයට ගියේය. කඩේ සිටි අය ඔහු දෙස බැලුවේ වෙනදා මෙන් ළෙන්ගතුව නොවේ. සමහරු අෑතට දිව ගියේය. සමහර අය තුෂ්ණිම්භූතව ඔහු දෙස බලා සිටියේය. අවට සිටියෝද බිය වූහ. වෙනදා මෙන් ඔහු සමඟ කතා කිරීමට කෙනෙක් නොවීය.
එසේ වීමට හේතුවක් තිබිණි. මන්ද ඒ වනවිටත් කළුතර මාමා මියගොස් සිටි හෙයිනි. ඒ ඉකුත් අප්‍රේල් 15දා මීගොඩ නඩුහේන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකිනි. එදින රාත්‍රි 11.45ට පමණ පා ගමනින් ගිය අයකු යුද හමුදා මේජර්වරයකු ගමන්ගත් මෝටර් රථයට හැපී සිදුවූ අනතුරකින් පසු එම පුද්ගලයා රෝහල් ගත කෙරිණි. අනතුරින් පසු මේජර්වරයා තුවාලකරු අතුරුගිරිය රෝහලට ඇතුළත් කළේය. එම තුවාලකරුගේ තත්ත්වය බරපතළ නිසා එදිනම කොළඹ ජාතික රෝහලට මාරුකර යැවිණි. නමුත් ඊට පැය කිහිපයකට පසු ඔහු මියගියේය.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය මීගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් ආරියරත්න (68817), මිය ගිය අයගේ ඡායාරූපයක් ගෙන පොලිසියට පැමිණ ඇත. පසුව මියගිය අයගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම අවශ්‍ය විය. මන්ද ඒ වනවිටත් අනතුරට මුහුණ පෑ පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගෙන නොතිබූ හෙයිනි. එම නිසා කොස්තාපල්වරයා අදාළ ඡායාරූපය මුතුහේනවත්තේ කිහිපදෙනකුට පෙන්වා ඔහු ගැන අසා ඇත. මෙයා නම් කළුතර මාමා වගේ යැයි ඔවුන් පොලිස් නිලධාරියාට කියා තිබිණි.
අනතුරින් මියගිය කළුතර මාමාගේ මිනිය දරුවන් විසින් හඳුනාගනු ලැබිණි. භූමදානය කටයුතු කෙරුණේ ගමේ අයගේද සහාය ඇතිවය. සමහරු ඔහුට වෙච්චි දේට අනේ අපොයි කියා සුසුම් හෙලුහ. නමුත් එලෙස මියගිය කළුතර මාමා එකවරම 20දා සවස ගමේ කඩේදී හිටි අඩියේ මුණගැසේ යැයි ඔවුන් සිහිනෙන්වත් සිතා තිබුණේ නැත. බඩුගෙන යෑමට කඩයට පැමිණ සිටි මුතුහේනවත්තේ අනුරට මෙය ප්‍රහේලිකාවක් විය. ආවේ හොල්මනක්ද නැත්නම් පණ ඇති අයකුද යන්න හිතාගත නොහැකි විය. ඔහු කළේ වහා පැන කළුතර මාමාගේ අතින් ඇදීමය. “උෟයි මොකද යකෝ කරන්නේ” කළුතර මාමා බැන වැදුණේය. ඒත් අනුරගේ හිතට සැනසිල්ලක් නම් නොවීය. අවසානයේ සිද්ධිය කෙසේ හෝ මීගොඩ පොලිසිය දක්වා ගියේය.
කඩෙන් බිස්කට් එකක් මිලදී ගැනීමට නොහැකි වූ කළුතර මාමා තමන් පැමිණි වාහනයටම නැග්ගේ තමන් පදිංචි වී සිටි නිවෙසට යෑමටය. ඒ ගමේ අය තමන් දෙස හොරකු, මංකොල්ලකාරයකු ලෙස බලන හෙයිනි. රිය අසුනේ සිටියේ ඔහුගේ හාම්පුතාය. රියද මීටර් කිහිපයක් දුර ගොස් කළුතර මාමාගේ නිවෙස ඉදිරියේ නැවතිණි. හාම්පුතා රියෙන් බැස ගේට්ටුවට තට්ටු කළ විට ගේට්ටුව ඇරියේ කළුතර මාමාගේ මිනිබිරියයි.
කළුතර මාමා දුටු හැටියේම බියපත් ඇය “බුදු අම්මෝ”යි කෑගසාගෙන ගෙට ගොස් “අන්න සීයා ඇවිත්” යැයි කීවාය. කළුතර මාමා දුටු නිවැසියෝද පුදුමයට පත්වූහ. නිවෙසේ සිටියේ කළුතර මාමාගේ බිරියගේ සහෝදර සහෝදරියන්ය. මේ අය මෙසේ හැසිරෙන්නේ ඇයිදැයි කළුතර මාමා දැන සිටියේ නැත.
“කළුතර අයියේ, උඹ මැරුණානේ. අපි උඹව වැළලුවානේ! කොහොමද ආවේ? නැගණියක් පුදුම වී කෑගැසුවාය. මේ කිසි දෙයක් නොදැන සිටි කළුතර මාමා පුදුම වී ඇය දෙස බැලුවේය.
අවසානයේ මේ සිදුවීම කෙළවර වූයේ මීගොඩ පොලිස් ස්ථානයෙනි. කළුතර මාමා යනුවෙන් හැඳින්වෙන්නේ කේ.ඩී. දන්දිරිස් පෙරේරාය. ඔහු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ අයෙකි. දරුවන් හය දෙනකුගේ පියෙකි. 79 හැවිරිදි අයෙකි. අප්‍රේල් 15දා සිදුවූ රිය අනතුරෙන් ඔහු මියගොස් තිබිණි.
දන්දිරිස් පෙරේරා මියගිය පසු කොළඹ ජාතික රෝහල වෙත කැඳවනු ලැබූ ඔහුගේ දරුවන්ට මෘත ශරීරය පෙන්වනු ලැබිණි. පිරිමි දරුවන් දෙදෙනා මියගොස් සිටින්නේ තමන්ගේ පියා බවට හඳුනා ගත්හ. ඊට අදාළ මරණ පරීක්ෂණයක්ද පැවැත් වී ඇති අතර එහිදී ඔහු රිය අනතුරකින් මියගිය බව තහවුරු විණි. අප්‍රේල් 17දා මෘත ශරීරය දරුවන්ට භාරදෙනු ලැබිණි.
දේහය පිළිබඳ අවසන් කටයුතු කෙරුණේ අප්‍රේල් 18 වැනිදාය. කොරෝනා වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කිරීමට නියම වී තිබිණි. දහවල් එක දක්වා දේහයට අවසන් ගෞරව දක්වනු ලැබිණි.
මියගොස් තිබුණේ කළුතර මාමාද නැන්නම් වෙනත් අයකුද යන්න පවුලේ අය, ගම්වාසීන්ද නොදැක සිටීම මේ අවුලට හේතුවය. මියගිය අයගේ සහෝදර සහෝදරියන්ද අවසන් කටයුතුවලට සහභාගි වී ඇතත් මියගොස් ඇත්තේ තමන්ගේ සහෝදරයා යැයි ඔවුන්ද හරියට හඳුනාගෙන නැත.
දන්දිරිස් පෙරේරා නැත්නම් කළුතර මාමා නිවෙසට පැමිණ ඇත්තේ මාස කිහිපයකට වරකි. පොඩි දෙයටත් ඉක්මනින් කේන්ති ගන්නා මොහු පවුලේ උදවිය සමඟ අමනාප වී නිවෙසින් බැහැරව යයි. ඔහු යන්නේ කොහේදැයි නිවැසියන් නොදනිති.
කළුතර මාමාගේ බෙල්ලේ පහළ පිලිස්සුණු තුවාලයක සලකුණකි. ඒ තොවිලයකට ගොස් දුම්මල ගහන විට ගින්දරට පිච්චී ඇති වූ කැළලකි. වම් අතේද පිලිස්සුණ සලකුණකි. කකුලේ දණහිසින් පහළ සහ වළලුකර ආශ්‍රිතවද පිලිස්සුණු සලකුණකි. බඩේ පපුව ප්‍රදේශයේ පහළට හැකිළුණු ස්වභාවයකි. කළුතර මාමාගේ ශරීරයේ තිබූ එම ලක්ෂණ ඒ ආකාරයටම මියගිය පුද්ගලයාගේ ශරීරයේද තිබී ඇත.
ඒ අනුව මියගොස් ඇත්තේ තම පියා බවට විශ්වාස කළ බව කළුතර මාමාගේ වැඩිමහල් පුතා වන රංජිත් පෙරේරා (53) අපට කීවේය.
සිය පියාගේ පාංශකූලය පැවැත් වූ බවත් හත් දවසේ දානයද දුන් බවත් ඔහු කීවේය.
කළුතර මාමා අදාළ රිය අනතුර සිදුවූ දින කොහිලවත්ත ප්‍රදේශයේ තම නිවෙසේ සිටි බවට ආරක්ෂක අංශයේ නියුතු අයකු මීගොඩ පොලිසියට කට උත්තරයක්ද දී තිබේ. එම අයගේ නිවෙසේ මුරකරුවකු ලෙස සේවය කළ දන්දිරිස් පෙරේරාට මසකට රුපියල් 20,000ක වැටුපක්ද ලැබී තිබේ. පසුගිය පෙබරවාරි 4 වැනිදා මුතුහේනවත්ත නිවෙසට අවසන් වරට පැමිණි කළුතර මාමා ගැන කිසිදු තොරතුරක් පවුලේ කිසිවකු දන්නේ නැත. ඉන්පසු ඔහු නිවෙසට පැමිණ ඇත්තේ මැයි 20දාය.
කෙසේ වුවද අනතුරින් මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න දැන් ගැටලුවක් වී තිබේ. මුතුහේනවත්තට යාබද වත්තක සිටි කළුතර මාමාගේ හැඩරුවට සමාන අයකු අනතුරින් මියගොස් ඇති බවට දැනට මීගොඩ පොලිසිය සැක කරයි. එම පුද්ගලයාද අප්‍රේල් 15 වැනිදායින් පසු ආගිය අතක් නැති බවට පවුලේ උදවිය මීගොඩ පොලිසියට පැමිණ මැයි 20දා කට උත්තරයක් දී ඇත්තේ කළුතර මාමා නැවත පැමිණ ඇති වූ අකරතැබ්බයේ සුලමුල සොයන විටය.
මියගියා යැයි සැකකරන පුද්ගලයාට දරුවන් දෙදෙනකු සිටින බවද කියැවෙයි. ඔහු අතහැර ගොස් වසර 30කට වැඩි බවය. දරුවන් සිටියද ඔහු ගැන සොයා බලා නැත. ඔහුගේ සහෝදරියක්ද සිටියි. අනතුරින් මියගියා යැයි කියූ කළුතර මාමාට අවසන් ගෞරව දැක්වීමට ඇයද පැමිණ ඇත. මියගොස් ඇත්තේ කළුතර මාමා නොව තම සහෝදරයා යැයි හඳුනා ගැනීමට ඇයටද බැරි වී තිබේ.
පවුලේ අයට, ගමේ උදවියට, සහෝදරයන්ට, මිත්‍රයන්ටද මියගොස් ඇත්තේ කළුතර මාමා නොව වෙන අයකු යැයි හඳුනා ගැනීමට බැරිවීම පුදුම සහගතය. මෙය හතරබිහිරි කතාවකි. මේ කතාවේ අගමුල සොයා ගැනීමට සිදුව ඇත්තේ මීගොඩ පොලිසියටය. අධිකරණ නියෝගයක් ලැබ මිනිය ගොඩගෙන ච්ව්ඒ පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත්තේ කවුරුන්දැයි කියා සොයා ගැනීමට දැන් සිදුව ඇත.
අප මීගොඩ නඩුපොත මුතුහේනවත්තේ පිහිටි කේ.ඩී. දන්දිරිස් පෙරේරාගේ නිවෙසට ගියේ වැඩිදුර විස්තර දැන ගැනීමටය. අප එහි යන විටත් ගමේ අය මේ ගැන තැන තැන කතා කරමින් සිටියහ. දන්දිරිස් පෙරේරා නැවත ආ බවට ලැබෙන ආරංචිවලින් පුදුමයට පත්වන ඔහුගේ මිතුරන් මේ නිවෙසට වැල නොකැඩී එන බව කියති.
“මම කිසි දෙයක් දන්නේ නැහැ. ගෙදරට ආවා. ඊට පස්සේ පොලිසියට එක්ක ගියා” යැයි කියමින් දන්දිරිස් පෙරේරා සිය කතාව කියන්න පටන් ගත්තේය.
“මම හොරකම් කරලා, වංචා කරලා නැහැ. පොලිසියට එක පාරටම ගෙනිච්චාම මම ඇයි කියලා ඇහුවා. එදා පොලිසියේ මාව තියා ගත්තා. නිදාගන්න මෙට්ටයක් පවා දුන්නා.” පොලිසිය කියන තුරු තමන් මේ කිසිවක් නොදන්නා බවද ඔහු කීවේය.
දන්දිරිස් පෙරේරා කොහිලවත්ත ප්‍රදේශයේ රැකියාවක් කරන අතර ඉඳහිට සිය නිවෙසට ආවේ කකුලේ අමාරුවකට බෙහෙත් ගැනීමටය. ඔහු ප්‍රතිකාර ගත්තේ ආයුර්වේදය අසල තැනකිණි. කොරෝනා ඇඳිරි නීතිය නිසා ඔහුට බෙහෙත් ගැනීමට ඒමට නොහැකි විය. කකුලේ අමාරුව වැඩි වූ නිසා කොළඹ ජාතික රෝහලෙන් බෙහෙත් ගත්තත් සුව නොවීය. එනිසා මීගොඩ ආයුර්වේදය අසල ප්‍රතිකාර ගන්නා තැනට ගියේය. තම නිවෙස අසලට පැමිණ ඇති නිසා සිය හාම්පුතාගේ ඉල්ලීමටද අනුව දන්දිරිස් පෙරේරා සිය නිවෙසට ආවේ ගෙදර අය බලා යෑමටය.
එදින මුළු වත්තේම අය කළුතර මාමාගේ ගෙදරය. තාත්තා මැරුණා අප්‍රේල් 18 වැළලුවා යැයි ගෙදර අය කීවත් කළුතර මාමාට එය ප්‍රහේලිකාවකි. සිදුවීමේ අගමුල තෝරා ගත්තේ මීගොඩ පොලිසියෙනි. මියගිය පුද්ගලයාගේ හැඩරුවට සමාන රුවක් දන්දිරිස් පෙරේරාටද හිමිවී තිබීම මේ අවුලට හේතුවිය. අල්ලපු වත්තේ සිටි අයිස්ක්‍රීම් විකුණන කෙනා තමාට සමාන නිසා පිරිස ඔහුට රැවැටී මේ මාරුවීම සිදුවී ඇතැයි දන්දිරිස් පෙරේරා කීවේය.
පොලිසිය සැක කරන පරිදි මියගොස් ඇතැයි විශ්වාස කෙරෙන්නේ එකී පුද්ගලයාය.
මියගිය කෙනාගේ රුවට සමාන තම ඡායාරූපයක් දන්දිරිස් පෙරේරාද සතුය. “මමත් ඒ වගේ තමයි. මේ අය රැවටිලා තියෙන්නේ ඒ හින්දයි“ දන්දිරිස් පෙරේරා කියයි.
දන්දිරිස් පෙරේරාගේ බිරියට වයස අවුරුදු 75ක් පමණය. ඇය රෝගාතුරව සිටියි. ස්වාමියාගේ මරණයෙන් ඇය වඩාත් කම්පා වී ඇත. නමුත් හදිසියේම ස්වාමියා පැමිණි පසු ඇය සතුටු කඳුළු වගුරයි. දන්දිරිස් පෙරේරා දකින දකින මොහොතක් පාසා අත අල්ලා හඬා වැටෙයි. එනිසා තමා ඇයට පෙනෙන්නට නොසිටින බවද දන්දිරිස් පෙරේරා කියයි.
මගේ මල්ලිලා දෙන්නම මළ ගෙදර ඇවිත්. ඒ දෙන්නටත් හඳුනා ගන්න බැරිවෙලා “යැයි දන්දිරිස් පෙරේරා කියන්නේ තමන්ගේ මරණය තමන්ම දුටු අයකු සේය.” මම ජීවත් වෙලා ඉන්න කොට මගේ මිනියේ පින්තූර, මං වෙනුවෙන් පාංශකූලය දීපු තැන, මාව වළලපු තැන බලා ගන්න පුළුවන් වුණා. මිහිපිට මිනිහකුට එහෙම වාසනාවක් නැතැ යි ඔහු කියන්නේ සිනා සෙමිනි.
දන්දිරිස් පෙරේරාගේ ගම කළුතරය. බිරිය මිගොඩ ගැහැනුවල ප්‍රදේශයේය. විවාහයෙන් පසු බිරියගේ ගමේ පදිංචි වන දන්දිරිස් ප්‍රකට වූයේ කළුතර මාමා ලෙසය. ඔහුට ස්ථීර රැකියාවක් නැත. ඔහු රත්මලාන, කළුතර, ඔරුගොඩවත්ත, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල රැකියා කර ඇත. පසු කාලයකදී වලාන පොලිසියේ කම්කරුවකු ලෙස සේවයට එක් වී තිබේ.
මියගොස් නැවැත ඉපදුණු දන්දිරිස් පෙරේරාට, පවුලේ අයට මුහුණ දීමට සිදුව ඇති ගැටලු බොහෝය. තම පියාගේ මරණය වෙනුවෙන් මේ අයට හතර වටේ ණය වීමට සිදුව ඇත.
කොරෝනා වසංගතය නිසා මේ අයට මළ ගෙදර වියදම් සඳහා ණය වීමට සිදුව තිබේ. ඒ ණය ගෙවන්නේ කෙසේදැයි නොදැන ඔවුන් අසරණ වී ඇත.
මේ සිදුවීමෙන් පසු දන්දිරිස් පෙරේරාට තමන් කළ මුර රැකියාවද අහිමි වී ඇත.
මීට පෙර වතාවකද දන්දිරිස් පෙරේරා තමන්ගේ අය සමඟ අමනාප වී අනුරාධපුර ප්‍රදේශයට ගොස් ඇත. එහිදී ඔහු හඳුනාගත් අයකු සමඟ ගොවිතැන් කළත් ඉන් පලක් නොවූයේ වගාව විනාශ වී ඇති හෙයිනි.
වැඩ කළ තැනින් තමාට රුපියල් 125,000ක් ගෙවීමට ඇතැයිද ඔහු කියයි.
DNA පරීක්ෂණයක් තියා මේ ගැටලුව විසඳෙන තුරු දන්දිරිස් පෙරේරා තවම මියගිය අයෙකි. ඉදිරියේදී එම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇත. එතෙක් දන්දිරිස් පෙරේරා දැන් රටේ මාතෘකාවක් බවට පත්ව තිබේ. එනිසා සමාජයෙන් තම පවුල් වෙත කෙරෙන ඇතැම් බලපෑම් හමුවේ ඔවුන් අසරණය. ප්‍රශ්නය විසඳෙනතුරු දන්දිරිස් පෙරේරා දෙස මියගිය පුද්ගලයකු ලෙස නොව තමන් සමඟ ජීවත් වූ අයකු ලෙසට සානුකම්පිතව බැලිය යුත්තේ එහෙයිනි.
මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත රථවාහන අංශයේ කීර්ති(7912) මහතා විසින් සිදු කරනු ලබයි.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
ඡායාරූප – සරත් කුමාර