අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය තරග බිමට පිවිසියේ CR&FC ක්‍රීඩාපිටියේදී. එම තරගය පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.
ඒ හේෂාන් රන්දිමාල් නම් සිසුවා හේතුවෙනි.
තම ආදරණීය මව පිළිකා රෝගය නිසා ජීවිතයෙන් සමුගෙන ඇති නිමේෂයක ඇගේ දේහය මව්ශාලාවේ තැන්පත් කොට තිබිය දී ඇගේ සිහිනයට පණ දීමට තරඟ බිමට පිවිසීම හේතුවෙන් මෙම එඩිතර පුතු පිළිබඳව සමාජයේම අවධානය යොමුව තිබෙනවා.

ඉසිපතන කණ්ඩායමේ ජයග්‍රහණයේ පුරෝගාමියකු වූ හේෂාන් රන්දිමාල් මෙම තරගයට එක්වුණේ මහමෙරක් තරම් වූ දුකක් හිතේ දරාගෙනයි.
ඒ පණටත් වඩා ආදරය කළ තම මවගේ වියෝව හේතුවෙනි.
මවගේ වියෝවේ අසීමාන්තික දුක දරාගෙන ක්‍රීඩා කළ හේෂාන්ට මෙම තරගයේදී ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් රැස්කළ පළමු උත්සාහක දිනුම ලබා ගන්නටත් හැකියාව ලැබීමේ කැපී පෙනුණා.
තරගයෙන් අනතුරුව ඉසිපතන මෙන්ම ජෝසප් ක්‍රීඩකයින් හේෂාන්ට ශෝකය පල කළේ ක්‍රීඩාවේ ජිව ගුණය ලොවටම විදහා පාමින්.
අනතුරුව දෙපිලේ ක්‍රීඩකයින් හේෂාන්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වීම කාගෙත් ප්‍රශංසාවට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.