in ,

පකිස්තානු චිත්‍රපට 16 ක රඟපෑ සබීතා පෙරේරාට පකිස්ථානයේදී මූණ වහගෙන යන්න වෙලා

sabeetha perera

1962 දෙසැම්බර් 1 දා උපන් සබීතා පෙරේරා දැන්(2020) 57 වියේ පසුවුවද සුන්දර පෙනුම නම් අඩුවී නැහැ.80 දශකයේ හා හා පුරා කියා රංගනයෙන් කලඑළි බැස්ස ඇයට ලැබුණේ අසීමිත ආදරයකි. ඇයගේ නිවෙසට එතැන් සිට ලැබෙන්නට ගත්තේ වෙනදා මෙන් ලිපි එකක් දෙකක් නොව ලිපි කන්දරාවකි. ඇතැම් ලිපි ලේවලින් ලියූ ආදර හසුන් විය. ඇතැම් තරුණයන් ඇය යන යන මඟ ඈ පසුපස එන්නට තරම් වශීකෘත වී සිටියහ.

ඇය අසීමිත ලාංකේය ප්‍රේක්ෂක පිරිසකගෙන් පමණක් නොව විදේශීය ප්‍රේක්ෂකයන්ගේද මන බැඳගත් රංගන ශිල්පිනියක් විය. ඒ වෙන කිසිවකු නොව අදටත් බොහෝ දෙනා ආදරය කරන සුරූපිනියක සේම දක්ෂ රංගන ශිල්පිනියක වූ සබීතා පෙරේරාය. ඇය අපූරු රසික මතක හදගැස්මට කැන්දවූවේ මෙසේය.

“මම රංගන ක්ෂේත්‍රයට ආවේ 80 දශකයේ. ඒ සබීතා චිත්‍රපටයෙන්. සබීතා චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා. විශාල ප්‍රේක්ෂක පිරිසක් මං වටා එකතු වෙන්න ගත්තා. දෙවැනි ගමන චිත්‍රපටය කරද්දි මට හිටපු රසික පිරිස තවත් වැඩි වුණා. ඒ යුගයේ සරසවිය පත්තරේ මගේ ඡායාරූප පළවෙන්න ගත්තා. අපේ ලිපින පළවෙන්න ගත්තා. ඒකත් එක්ක මට තිබුණු ප්‍රතිචාර ලිපිවලින් අපේ ගෙදරට එන්න ගත්තා. බොහෝ අය මට ලිපි එවන්නේ මගේ ඡායාරූප ඉල්ලලා.

ඉතිං මම මගේ පින්තූර ඒ අයට යැව්වෙ මගේ අස්සන ගහලා. ඒ කාලේ ආපු ඒ ලියුම් කන්දට ප්‍රතිචාර යවන්න මට විශේෂ කෙනෙක් හිටියා. මට එන ලිපි මම බලනවා. රූගත කිරීම්වලට කාර්යබහුලවෙලා හිටියත් මම ඒ ලිපි කියෙව්වා. සමහර ලිපි මට හොඳට මතකයි. අත්අකුරුවලින්ම ඒ අය මට මතක හිටිනවා”

ඔය ලිපි අතරේ ආදර ලිපිද සැඟවී තිබිණි. ඒ හා බැඳුණු මතකය ඇය අවදි කළේ මුවග සුන්දර සිනහවකින් හැඩ කරගෙනයි.

“ඒ කාලේ එක තරුණයෙක් මට දිගටම ලිපි එවන්න ගත්තා. එයාගේ ලේවලින් පවා ලිපි ලියලා එව්වා. මං ගැන නිකන්ම කැමැත්තකට වඩා ඔහුට තිබුණේ මාව දකින්න, මාව ඔහුගේ කරගන්න අදහසක්. ඔහු එවපු සමහර ලිපිවලින් මට දැනුණා ඔහු මම යන යන තැන්වලට එනවා කියලා. ඔය තත්ත්වය වැඩිවෙලා ඔහු අපේ ගෙදර තාප්පෙන් පැනලා ගේ ඉස්සරහට ඇවිත් වාහනයක් උඩ නැඟලා සින්දු කියන්න ගත්තා. එතකොට අපි හිටියෙ නාවල ගෙදර. පාරෙ යන අයත් මේ මොකද කියලා බලන්න ගත්තා. මමයි අම්මයි ගෙදර ‍ෙදාර වහගෙන හිටියා.

එදා මට කනගාටුම දේ තමයි මට ඒ පුද්ගලයා ගැන පොලිසියට කියන්න සිදුවීම. හැමෝම කිව්වා මේක ප්‍රශ්නයක් නිසා පොලිසියට කියන්න කියලා. ජීවිතේ පළමුවැනි වතාවට මට ඒ සිද්ධිය නිසා නඩුවකට යන්න වුණා. ඒ තරුණයා උසාවි ඇවිත් මං දිහා හරි අහිංසක විධියට බලන් හිටියා. ඒ මනුස්සයා හරි අහිංසකයි. පස්සෙ මම ඒ නඩුව ඉල්ලා අස්කර ගත්තා. සමහර අය මං ගෙදර නැති දවස්වලට ඇවිත් මගේ අම්මට තර්ජනය කරලා මං ඉන්නෙ කොහෙද කියලත් අහලා තිබ්බා..

ඒ යුගයේ ආදර යෝජනාවලින් සබීතාට අඩුවක් තිබී නැහැ. ඇයගේ මතකය ඇදී ගියේ තවත් එවැනි අපූරු රසික මතකයන් දිගේ.

“මට ඒ කාලෙ හරියට විවාහ යෝජනා ආවා. අර මුලින් සඳහන් කළ තරුණයා නෙමෙයි තවත් තරුණයෙක් මම යන යන තැන්වලට ඇවිත් මං එක්ක කතා කරන්න ගත්තා. දවසක් මගේ තාත්තා ගෙදරින් යනකල් බලන් ඉඳලා තරුණයො 4 දෙනෙක් අපේ ගෙදරට ඇවිත් අපිත් එක්ක සාමාන්‍ය පරිදි කතා කර කර ඉඳලා ගියා. ඒ අතරේ හිටියා මම යන යන තැන්වලට එන තරුණයා.

ඒ තරුණයා අපේ ගෙදරට කෝල් කරලා අම්මා එක්ක කතාබහ කරන්න ගත්තා. මාත් එක්කත් කතා කළා. මට විවාහ යෝජනාවකුත් ගෙනාවා. ඒ තරුණයා හොඳ නිසා තාත්තත් මගෙන් ඇහුවා කැමැතිද එයාට කියලා. ඒත් ඒ වෙනකොට මට බඳින්න අදහසක් තිබුණෙ නෑ. සිනමාවට හිත ගියපු කාලෙ නිසා ඔහු හොඳ වුණත් මම විවාහයට කැමැති වුණේ නෑ. මට අක්කලා දෙන්නයි නංගියි හිටියත් ඒ කාලේ මගෙ ජනප්‍රියත්වය එක්ක මට තමයි විවාහ යෝජනා ආවේ”

සබීතා තමන්ගේ රංගන කුසලතාව මෙරටින් එපිටට අරගෙන යන්න තරම් වාසනාවන්තියක් බවට පත්වුණා. ඒ නිසාවෙන්ම ඇයට සිටි රසික පිරිසත් මෙරටට සීමා නොවුණු පිරිසක් බවට පත්වූ බවට බොහෝදෙනා සාක්ෂි දරා තිබුණා. ඒ මතකය ඇය අවදි කළේ මෙලෙසයි.

“මට පාකිස්තාන චිත්‍රපටවලත් රඟපාන්න ලැබුණා. රෝසි චිත්‍රපටයේ මගෙ රංගනය දැකලා තමයි මට පාකිස්තාන චිත්‍රපටවලට ආරාධනා කළේ. මම කරපු පළමුවැනි පාකිස්තාන චිත්‍රපටය කබී අල්විදානා කෙහෙනා කියලා පාකිස්තානයේ තිරගත වුණේ. එය ලංකාවේ තිරගත වුණේ සදාකල් රැඳේවා නමින්. මට ඒ චිත්‍රපටය වෙනුවෙන් උර්දු භාෂාව පාඩම් කරන්න වුණා.

සදාකල් රැඳේවා චිත්‍රපටයේ ගීතයක්

මම රඟපෑවෙ පාකිස්තාන නළුවෙක් එක්ක. ඒ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ අධ්‍යක්ෂවරයා මට කතා කරලා කිව්වා එය හොඳින් තිරගත වෙනවා එහෙ අය ලංකාවෙ සබීතා කවුද අහනවා කියලා. ඊළඟ චිත්‍රපටයටත් මාව ප්‍රධාන චරිතයට ගන්න අවශ්‍යයි කිව්වා. ඒ චිත්‍රපටය වෙනුවෙන් මම පාකිස්තානයට යද්දී ගුවන් යානයේදී කාන්තාවක් මගේ ළඟට ඇවිත් සබීතා කියලා කතා කළා. මට හිතාගන්නත් බැරි වුණා. ඒ රටේ මිනිස්සුත් මට පුදුම විදිහට ආදරය කරන්න ගත්තෙ.

මම පාකිස්තාන චිත්‍රපට 16ක් විතර කළා. මට ඒ රටේ ජනතාවගෙන් ලැබුණු ආදරයත් පුදුමාකාරයි. මට ඒ රටේ චිත්‍රපට කරපු කාලෙ එළියට යන්න වුණේ සන්ග්ලාස් දාලා මුහුණ වහගෙන. එතකොට මාව කවුරුවත් හඳුනාගන්නෙ නෑනෙ. ඇත්තටම ඒ රටෙන් ලැබුණු රසික ආදරය අමතක කරන්න බෑ. ඒ රටේ ජනතාව චිත්‍රපට බලන්නෙ විසිල් ගගහා පී්‍රති ඝෝෂා කරකර. මගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දී මම ඒ ශාලාවේ හිටියොත් ඔවුන්ගේ ප්‍රතිචාරය මම වින්දා. මට පාකිස්තාන චිත්‍රපට 16ක්ම රඟපාන්න ලැබුණේ ඒ රසික ආදරය, ගෞරවය නිසා”

මේ අවධියේම දිනක් රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා පාකිස්තානයට ගිය අවස්ථාවක අපූරු සිදුවීමක් වූ බව අපට දැනගන්නට ලැබුණේ සබීතාගෙන්මයි.

“ගාමිණී ෆොන්සේකා පාකිස්තාන චිත්‍රපටවල රඟපෑවානේ. ඒ නිසා ඔහුටත් පාකිස්තානයට යන්න වුණා. එක්තරා අවස්ථාවක ඔහු පාකිස්තානයට ගිහින් ගුවන් තොටුපොළේ ඉඳන් වාහනයකින් යද්දි ගාමිණී ෆොන්සේකා ලංකාවේ කිව්වම ඒ වාහනේ රියැදුරු ඇහුවලු සබීතාගේ රටේද කියලා. ඒක ඒ කාලේ මට ගාමිණී ෆොන්සේකා කිව්වා. මට ඒ රටේ ජනප්‍රිය නිළි සම්මානයකටත් ආරාධනා ලැබුණා. පකිස්තානයේ අය මට ඒ රටේ ඉන්න කියලත් කියන්න ගත්තා. ඒ මට ඒ රටේ රසික ආකර්ෂණය ගොඩක් ලැබුණු නිසා. ඇත්තටම අපේ රටේ වගේම වෙනත් රටකත් ඒ වගේ ප්‍රේක්ෂක ආදරයක් ලැබීමට තරම් මම වාසනාවන්ත වුණා”.

සබීතාට ලැබුණු රසික ආදරය කොතෙක්ද යත් ඇය යන යන තැන්වල ඒ ආදරය ක්‍රියාවෙන්ම ඔප්පු වී තිබිණි. මිල කළ නොහැකි රසික ආදරයට එවැනි තවත් සිදුවීම් බොහෝමයක් සාක්ෂි දරා තිබූ බව ඇය අපට පැවැසුවේ මෙසේයි.

“අපි යුද්ධය තිබුණු කාලයකත් ජීවත් වුණානේ. ඒ කාලේ වාහනේක යද්දි ආරක්ෂක අංශයෙන් වාහනය නැවැත්තුවත් මාව දැක්කම එයාලා මට කියන්නේ “ඔයාලා අපේ හදවතේ හැමදාම ජීවත් වෙන අය” කියලා. ඒ වගේ වචන ඇහෙද්දි පුදුම සතුටක් දැනෙන්නේ. එයාලා අපිව හදවතට කිට්ටු කරගෙන. රසික ආදරය සාමාන්‍ය කෙනකුට ලබන්න බැරි වටිනා සම්පතක්. ඒ වගේ ආදරයක් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ.

මම එක පාරක් අවුරුදු උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වෙන්න කුවේට් ගියා. අපේ රට වෙනුවෙන් වැඩ කරන අය ඒ රටේ හිටියේ. එදා එතන හිටපු ලංකාවේ හැමෝම මාත් එක්ක ඡායාරූප ගත්තා. මගේ අත, මුහුණ, කොණ්ඩය අල්ලන්න පවා උත්සාහ කළා. ඔය අතරේ හිටපු එක කාන්තාවක් මගේ අත ඇදලා ඇගේ අතේ තිබුණු මුද්දක් ගලවලා මගේ ඇඟිල්ලකට දැම්මා. මට පුදුම දුකක් දැනුණේ. ඇය හම්බ කරගත්ත දෙයක් මට දුන්නේ. තාමත් එය මං ළඟ තියෙනවා.”

“සමහර අය මගේ පින්තූර එකතු කරලා ඇල්බම් හදලා මට එවලා තියෙනවා. සමහර මගේ පින්තූර මමවත් ඊට කලින් දැකලා නැහැ. සමහරු මගේ උපන් දිනවලට කේක් හදලා ගෙදරට ගෙනත් දෙනවා. මට තෑගි බෝග පවා ගෙනත් දීලා තියෙනවා. මගේ රසිකයෝ කාලයක් මට මල් එවන්න ගත්තා. මගේ රසිකයෙක් මෑතකදී මට එවපු පින්තූරයක් මගේ ළඟ තියෙනවා. ඒක මම වෙළෙඳ දැන්වීමක ඉන්නකෙට ගත්ත පින්තූරයක්. ඉතින් මගේ ළඟවත් ඒ පින්තූර නැහැ. සමහරු තමන්ගේ කාමරේ මගේ ඡායාරූප ගහගෙන ඉන්නවා කියලත් ඒ කාලේ මට කතා කරලා කියලා තියෙනවා.”

“ඒ වගේම එක රසිකාවියක් මට කතා කරලා කිව්වා එයාගේ දියණියට මගේ නම තිබ්බා කියලා. ඒ මට තියෙන ආදරයට. බොහෝ අය ඒ කාලේ මං වගේ අඳින්න, මං වගේ කොණ්ඩ මෝස්තර දාන්නත් යොමු වුණා. කොටින්ම කිව්වොත් මගේ වගේ ලයිට් කලර් ඇස් දෙකක් තියෙන කෙනෙක් දැක්කොත් සබීතා වගේ කියලා තමයි කියන්නේ”

සබීතා ඇයට ලැබුණු රසික ආදරයට ගෞරව කරන්නියක්. ඇයගේ ඒ නිහතමානිත්වය අදටත් ඇය ළඟ සුරක්ෂිතයි.

“රසික ආදරය මගේ ගමනට විශාල ආශීර්වාදයක් වුණා. අදටත් මට ප්‍රේක්ෂක ආදරය, ගෞරවය ලැබෙනවා. එහෙම ආදරයක් ලැබෙන්නේ අතළොස්සකට විතරයි. මම සාමාන්‍ය කෙනෙක් වුණා නම් ඒ වගේ ආදරයක් ලැබෙන එකක් නැහැ. මගේ කලා කෘතිවලට ආදරය කළ නිසයි ඔවුන් මට ආදරය කළෙත්. මම ජනප්‍රියත්වය බලෙන් ගන්න උත්සාහ කළ කෙනෙක් නෙමෙයි. ජනප්‍රියත්වය බලෙන් ලබාගන්න බැහැ. දහස් ගණනකගෙන් ලැබුණු ආදරය මිල මුදලට ගන්න බැහැ. ඒ ආදරය මගේ ජීවිතේ ලැබුණු වටිනාම තෑග්ග.

මම හොඳම නිළිය වුණා. ජනප්‍රිය නිළිය වුණා. හැබැයි ඒ මොන දේ තිබ්බත් රසික ආදරය නොලැබුණා නම් මට සතුටු වෙන්න බැහැ. තිස්ස අබේසේකර මට දවසක් කිව්වා ‘සබීතා’ ඔයා තරු ගුණය තියෙන කෙනෙක්. තරු ගුණය ඉහළින්ම දැක්ක කෙනෙක් ඔයා කියලා. කැමරාව ඔබට ආදරය කළා කියලා ඔහු මට ලියලා දුන්නා. ඒක මට ගෞරවයක්. මේ දේවල් ඉබේ මට ලැබුණු දේවල්. සමහර අවස්ථාවල රූගත කිරීම් කරද්දි වැඩ කරන අයගේ මං ගැන තියෙන කැමැත්ත, ආදරය වගේ පැත්තකට යනවා මට දැනෙනවා. එතකොට මට ඒ දේවල් නොදැනුණා වගේ ඔවුන්ව ඒකෙන් මඟහරවනවා. මොකද කී දෙනෙක්ට ආදරය කරන්නද? නමුත් රසික ආදරයට මම හැමදාම ආසා කළා. අපිව ජීවත් කරවන්නේ ඒ ආදරය”.

ඇය අදටත් හෙටටත් ඒ ආදරයේ හිමිකාරිය ලෙස වැජඹේවි. ඒ ආදරයට ඇයත් ගෞරව කරාවි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඇයගේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/SabeethaOfficial

සබීතා සිය සැමියා සහ පුතු සමග

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොරෝනා නීති උල්ලංඝණය කරමින් මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ කරපු මංගල්ලය

ලංකාවට ඇවිත් දැන් යන්න බැහැයි වගේ කියන නෙදර්ලන්ත සරසවි සිසුවිය[VIDEO]