in

තාත්තා මරපු පලිය ගන්නලු ,Bio Science කරපු මන්දිනු ගෝඩ් ෆාදර් කෙනෙක් වුණේ

 bio science

කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා, නොඑසේනම් ‘මන්දිනු පෙරේරා’ එක්තරා කාලයකදී ‘කෙහෙල්බද්දර පද්මේ’ හැටියට නාමකරණය වන්නේය. ‘කෙහෙල්බද්දර පද්මේ’ යන්න පාතාල ලෝකයට ‘ගැම්මක්’ ගෙනෙන නමකි. එහෙත් එය ‘ඇම්මක්’ බවට පත් කරන්නේ දිවයිනේ හතර දිග්බාගයේ විහිද පැතිර සිටින පාතාල සාමාජිකයන්ය. මාධ්‍යයට පවා එය ‘රසය’ බෙදීමට තරම් හේතුවන ඇම්මක් ගෙනෙන නමකි. එහෙත් ජීව විiා අංශයෙන් උසස් පෙළ සමත්ව ජීවිතය සාමකාමීව ගෙන යන්නට සිහින දුටු ‘මන්දිනු පෙරේරා’ට එවැනි ඇම්මක් හෝ ගැම්මක් නොතිබූ බව සහතිකය. පීඩිත සමාජ වටපිටාව ඔහුට පාතාලයේ නායකු වන්නට වටපිටාව සකස්කර දීම, අප ඇසිය යුතු අපූරු කතාවකි. හෙතෙම නොබියව, නොපැකිළව සිය ජීවිතය පිළිබඳව කතාව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියන්නේය. ඔහු කතාකරන හැම වචනයකටම තමන් සපුරා වගකියන බව කෙහෙල්බද්දර පාතාලයේ යෞවනයා කියන්නේය. එහෙයින්ම අපි මේ කතාව ඔබ ඉදිරියේ දිගහරින්නෙමු.

පෙරේරා යුවළට දාව ගම්පහ ප්‍රදේශයේදී 1988 ජුනි මස 17 වැනිදා බිලිඳෙකු මෙලොව එළිය දුටුහ. එලෙස උපන් බිලිඳාට කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා යන නම දෙමාපියෝ තැබූහ. නිසි වයසට පැමිණීමත් සමග දෙමව්පියෝ ඔහුව උඩුගම්පොල ජාතික පාසලට ඇතුළත් කළහ. කුඩා කල සිටම අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩා කටයුතුවලට ද ඔහු දක්ෂයෙකු විය. එම නිසාම හය වසරේ සිට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඔහුව කඳාන ද මැසනඩ් විද්‍යාලයට ඇතුළත් කළේය.

කඳාන ද මැසනඩ් විද්‍යාලයට ඇතුළත් වූ පසු ඔහුගේ දක්ෂතා තව තවත් ඔප් නැංවිණි. මලල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය ඔහු අධ්‍යාපන කටයුතුවලට ද ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය. එම නිසා ඔහු පාසලේ දීප්තිමත් මෙන්ම ජනප්‍රිය සිසුවෙකු විය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා සමත් වුවද ඔහුට සරසවි වරම් ලබා ගැනීමට නොහැකි විය. සරසවියට යෑම සඳහා සුදුසුකම් ලබාගැනීමට නැවත වරක් විභාගයට මුහුණ දෙන ලෙසට දෙමාපියන් පැවසුවත් ඔහු එසේ සිදුකළේ නැත. ඒ මෙරට දක්ෂ ව්‍යාපාරිකයකු වීමේ අදිටනින් ඔහු සිටිය නිසාවෙනි.

පාසල් ජීවිතයට සමු දුන් ඔහු ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කර ගැනීම සඳහා මෙරට ප්‍රසිද්ධ පිළිගත් අධ්‍යාපන ආයතන දෙකක ඩිප්ලෝමාවක් ද කළේය. එහෙත් රැකියාවක් කිරීමට උනන්දු නොවූයේ තම දෙමව්පියන්ගෙන් ලැබුණු දේපළ නිසා සහ දක්ෂ ව්‍යාපාරිකයකු විමේ අරමුණකින් සිටි නිසාය. ඒ අතරතුර ඔහු තමන්ගේම කියා ව්‍යාපාරයක් පටන් ගත්තේය. එයට අමතරව නගර සභාවේ මහාමාර්ග කොන්ක්‍රීට් කිරීමට ද ඔහු අත ගැසුවේය. ආර්ථික අතින් ශක්තිමත්ව සිටි ඔහු තම ප්‍රේමවන්තිය සමඟ යුග දිවියට ඇතුළු වූයේ වයස අවුරුදු 24 දී ය. ඉන්පසු ඔහු ගම්පහ කෙහෙල්බද්දර මහගෙදර ආසන්නයේ තමන්ම සෑදූ නිවසක බිරිඳ සමඟ ජීවත් වූහ. කිසිවකුටත් කරදරයක් නොකර ඔවුහු සාර්ථක පවුල් ජීවිතයක් ගත කළහ.

ව්‍යාපාර කටයුතුවලට අමතරව ගමේ පොදු වැඩකටයුතුවලදී ද ඔහු පෙරමුණ ගෙන කටයුතු කළේය. ඔහුගේ පියා වන නෙවිල් පෙරේරා ද ගමේ හිත හොඳ මිනිසෙකි. කලක් ඔහු සමාජයේ වැරදි පාරක ගිය ද අවසානයේ තම බිරිඳ සහ දරුවන් නිසා ඒ සියලු දේ අතහැර තම ව්‍යාපාර කටයුතුවල පමණක් නියැළෙමින්, හැකි අයුරින් මිනිස්සුන්ට ද උදව් උපකාර කරමින් ජීවත් විය. එම නිසාම නෙවිල් ප්‍රදේශයේ ජනප්‍රිය සහ පිළිගත් පුද්ගලයකු බවට පත්විය. සමාජයෙන් පියාට ලැබුණු ජනප්‍රියත්වය සහ පිළිගැනීම මන්දිනු පද්මසිරිටද එලෙසම ලැබුණි. කාලය එලෙස ගෙවී ගියේය.

මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු වන්නට ගත වන්නේ තප්පර ගණනකි. තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු සිදු කරමින් ජීවත්ව සිටි මන්දිනු පද්මසිරිගේ ජීවිතයද එලෙස වෙනස් වන්නට ගතවූයේ තත්පර කිහිපයකි. ඒ පාතාල කණ්ඩායමක් විසින් ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟයි. තම පියා එලෙස කුරිරු ලෙස ඝාතනය කිරීමත් සමග එම ඝාතකයන්ගෙන් පළිගැනීම සඳහා ඔහු පාතාල ලෝකයට පිවිසෙන්නේ කෙහෙල්බද්දර පද්මේ යන අන්වර්ථ නාමයෙනි. පහතින් පෙළ ගැසෙන්නේ පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ පවසන ආකාරයට ඔහුගේ පාතාලයේ ජීවිත කතාවයි.

“මට කවදාවත් පාතාලෙට සම්බන්ධ වෙන්න ඕන වුවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම මම කුඩු විකුණලා නැහැ. කප්පම් අරගෙන නැහැ. කුලියට මිනී මරලා නැහැ. ඒවා කරන්නේත් නැහැ. මම මගේ පාඩුවේ ව්‍යාපාර කරගෙන පුළුවන් විදිහට මිනිස්සුන්ටත් උදව් කරගෙන ජීවත් වුණ කෙනෙක්. ගමේ හැමෝම එක දන්නවා. එහෙත් මගේ තාත්තව පාතාල කල්ලියක් විසින් නිරපරාදේ ඝාතනය කරනවා. ඒ සිද්ධියත් සමග තමයි මම පාතාලයට සම්බන්ධ වෙන්නේ. ඒ කප්පම් ගන්න, කුලියට මිනී මරන්න, කුඩු විකුණන්න නොවෙයි මගේ තාත්තව ඝාතනය කරපු උන්ගෙන් පලිය ගන්න. ඇත්තටම මම පාතාලයට සම්බන්ධ වුණේ ඒ හේතුව නිසා.”

කෙහෙල්බද්දර පද්මේගේ කතාවට බාධා කරමින් මම මෙලෙස විමසුවෙමි.

“ඔබ නීතියේ පිහිට පැතුවනම් හරිනේ. එහෙනම් මේ කිසි කරදරයක් නැහැනේ.”

“නීතියේ පිහිට කියන්නේ මොකක්ද? නඩුවක් දාලා අවුරුද්දක් විතර බන්ධනාගාරගත කරලා අවුරුදු ගණන් නඩු කියන එකද ? තීන්දු එනකම් බලන් ඉන්න එකද ? මගේ තාත්තව කිසිම වරදක් නැතිව නිරපරාදයේ මරලා දැම්මේ. මගේ තාත්තට ජීවත් වෙන්න දුන්නේ නැත්තං මමත් ඒ අයට ජීවත් වෙන්න දෙන්නේ නැහැ. මගේ තාත්තගේ ඝාතනයට සම්බන්ධ සේරම දෙනා මම මරලා දානවා. ඒක තමයි මගේ නීතිය.”

“තාත්තව නිකන් මරන්නෙ නැහැනේ.”

“තාත්තව මරන්න හේතුව තමයි මම ගම්පහ ඔස්මන්ව බලන්න ගිය එක. ඔස්මන් කියන්නේ අපේ තාත්තගේ හොඳම යාළුවෙක්. මට මතක විදිහට 2017 දී එයාට වෙඩි තියෙනවා. ඒත් එයාට වෙඩි වදින්නේ නැහැ. තාත්තා මට කියනවා ගිහිල්ලා ඔස්මන්ව බලන්න කියලා. ඒ වෙලාවේ තාත්තා හිටියේ රඹුක්කන. ඒකයි මට ගිහිල්ලා බලන්න කිව්වේ. ඒ අනුව මම ඔස්මන්ව බලන්න ගියා. එහිදී දැනගන්න ලැබුණා ඔස්මන්ට වෙඩි තියපු වාහනේ ගිහිල්ලා තියෙන්නෙ කිරිඳිවිට පාරෙන් කියලා.”

“කිරිඳිවිට පාර කියන්නේ අපේ ගෙවල් පැත්තෙ නිසා ඔස්මන් මට කිව්වා පොලිසියේ අයත් එක්ක ගිහින් සීසීටීවී කැමරා පරීක්‍ෂා කරන්න උදව් කරන්න කියලා. එහෙම කියපු නිසා මමත් ගියා සීසීටීවී කැමරා පරීක්‍ෂා කරන්න. මොකද ඒක මගේ ගම නිසා. මම එහෙම යනවිටත් පොලිසියෙන් සීසීටීවී කැමරා පරීක්‍ෂා කරලා විස්තර හොයාගෙන. ඉතින් පොලිසියට මගේ උදව් ඕන වුණේ නැහැ.”

“ඔස්මන්ට වෙඩි තියන්න ආපු අයගෙ සීසිටීවී කැමරා පරීක්‍ෂා කරන්න ගිය නිසා සංජීව මාවයි තාත්තවයි මරන්න කියලා කිව්වලු. ඒ වෙලාවේ ඔස්මන්ට කවුරු වෙඩි තිව්වද කියලා අපි දන්නේ නැහැ. සීසීටීවී කැමරා පරීක්‍ෂා කරන්න පොඩ්ඩක් උදව් කරන්න කියලා ඔස්මන් කියපු නිසා ගිය ගමනක්. නැත්නම් කාවවත් පොලිසියට අල්ලලා දෙන්න ගිය ගමනක් නොවෙයි.”

“පස්සෙ තමයි දැනගත්තෙ පස් පොඩ්ඩයි, චමියයි තමයි ඒකට උදවු කරල තියෙන්නනේ කියලා. ඒක නිසා සීසීටීවී කැමරා හොයන්න උදව් කරා කියලා මාවයි තාත්තවයි මරන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. අපි යන එන තැන් පවා හොයලා තියෙනවා. එක පාරක් මම අවුරුදු උත්සවයක ඉන්නකොට වෙඩි තියල යන්න ඇවිත් තිබුණා. මට වෙඩි තියලා තාත්තටත් වෙඩි තියන්න තමයි ඒගොල්ලො ප්ලෑන් කරලා තිබුණේ. ඒ වෙලාවෙ පොලිසිය ඒ පුද්ගලයව අත්අඩංගුවට අරගෙන තිබුණා. ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී තමයි මේ විස්තර දැනගෙන තිබුණේ. පොලිසියෙන් ඒ විස්තර අපිට කියලා පරිස්සම් වෙලා ඉන්න කියලත් කිව්වා. චමී තමයි ලොකුවටම දැඟලුවේ.”

“චමී කියන පුද්ගලයා මැරුණට පස්සේ අපි හිතුවා ප්‍රශ්නයක් නැතුව අපිට නිදහස ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙත් එහෙම වුණේ නැහැ. අපිට පාඩුවේ ඉන්න දුන්නෙම නැහැ. අන්තිමට කොහොම හරි තාත්තව වෙඩි තියලා මරලා දැම්මා. එච්චර දෙයක් කරලත් මට නිකන් උඩ බලන් ඉන්නද කියන්නේ. මෙන්න මේ සිද්ධිය තමයි මුල්වුණේ මගේ ජීවිතය උඩු යටිකුරු කරන්න.”

“දැන් ඔහොම කීවට තාත්තට වෙඩි තියනකොට පස්ස දොරෙන් පැනලා ගියා කියලා තමයි කියන්නේ.”

“ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඔය මට මඩ ගහන්න කියපු කතාවක්. මාධ්‍යවල පවා ඔය බොරු කතාව පළ වෙලා තිබුණා. තාත්තට වෙඩි තියන්න ආපු වේලාවේ එතන මම හිටියා නම් මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. තුවක්කු සියයක් අරන් ආවත් මාව මරලා තමයි තාත්තා මරන්න වෙන්නේ එහෙනම්. මම එහෙම කොන්දක් නැති පිරිමියෙක් නෙවෙයි.”

“තාත්තට වෙඩි තියපු වෙලාවේ මම හිටියේ මගේ ගෙදර. ඒ කියන්නේ අපේ මහ ගෙදර ඉඳන් මීටර් 100ක විතර දුරින්. වෙඩි සද්දේ ඇහුන ගමන් මම දුවලා ගියා මොකද වුණේ කියලා බලන්න. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. තාත්ත මැරුණා කියල දැනගත්තම මගේ හිතට ආපු දුක, වේදනවාව වචනවලින් කියන්න බැහැ. තවමත් ඒක එහෙමමයි. එයා නැති අඩුව අදටත් මට හොඳට දැනෙනවා. ඒක නිසා තාත්තට වෙඩි තියපු මොහොතේම තීරණය කළා තාත්තව මරන්න ආපු සියලු දෙනාගෙන් මමත් පලිගන්නවා කියලා. තාත්තට ජීවත් වෙන්න ඉඩක් දුන්නේ නැත්නම් ඒගොල්ලන්ටත් එහෙමම තමයි. මගේන් කිසි සමාවක් නැහැ ඒගොල්ලන්ටනම්.”

ඔහු එලෙස පැවසුවේ ඉතාමත් ආවේගශීලීවයි.

“සංජිවයි, පස් පොඩ්ඩයි එකතුවෙලා අපේ තාත්තා මරලා මාවත් මරන්න සැලසුම් කරලා තියෙන්නේ. පොලිසියෙන් තමයි ඒ විස්තර මට කිව්වේ. ඒ එක්කම මමත් බන්ධනාගාරගත වෙනවා මිනීමැරුම් චෝදනාවකට. අවුරුද්දක පමණ කාල සීමාවක් මම බන්ධනාගාරගතව හිටියා.”

ඔහුගේ කතාවට බාධා කරමින් මම මෙලෙස විමසුවෙමි.

“බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඇමති කෙනෙක්ගේ මාර්ගයෙන් ඩුබායි පනිනවා. ඒ ගෝඩ් ෆාදර් කෙනෙක් වෙන්න හිතාගෙනද?”

“මට ඩුබායි පනින්න කිසිම ඇමැති කෙනෙක් උදව් කළේ නැහැ. මට මැති ඇමැතිවරුන්ගේ උදව් ඕනෙ නැහැ. ඒ වගේම කාගෙවත් අතකොළුවක් වෙන්නත් මම කැමති නැහැ. ඩුබායි ගියා. ඒකට උදවු කළේ මගේ හොඳම යාළුවෙක්. එතනින් එහා ඒ ගැන කතා නොකර ඉමු.” යැයි පවසමින් ඔහු මඳ සිනහවක් නැගුවේ සමච්චලයටදැයි කියා සිතුණි.

“ඩුබායි පැන්නෙ තවත් මදුෂ් කෙනෙක් වෙන්න නේද ?”

“මට තවත් මදුෂ් කෙනෙක් වෙන්න ඕන නැහැ. මම පාතාලයට සම්බන්ධ වුණේ කුඩු විකුණන්න, කප්පම් ගන්න, කුලියට මීනී මරන්න නොවෙයි. මගේ තාත්තව මරපු අයගෙන් පලිය ගන්න.”

“දැනට මිනීමැරුම් නඩු කීයක් විතර තියෙනවද, ඒ මොනවාද?”

“මට මනුෂ්‍ය ඝාතන සිදුකළා කියන චෝදනාව යටතේ පොලිසිය නඩුදාලා තියෙනවා. පස් චමියට සහ ගම්පහ උසාවිය ඉදිරිපිටදී පස් පොඩ්ඩාට සහ තවත් පුද්ගලයෙකුට වෙඩි තියලා ඝාතනය කළා කියලා, මේවට තමයි නඩු දාලා තියෙන්නෙ. පස් සුරේෂ්ටත් ගැහුවේ මම කියල නඩුවක් දාලා තිබුණා. පස්සේ අධිකරණයෙන්ම එක අයින් කරගත්තා. නඩු විභාග වන නිසා මට මේ පිළිබඳව වැඩි විස්තර කියන්න බෑහැ.

“ඔබ කොහෙම කීවත් ඩුබායි ඉඳං කරන්නෙ මධුෂ්ලා කරපු වැඩමනේ. ගෝලයෝ දාලා කප්පං ගන්නවා, කුලියට මනුෂ්‍ය ඝාතන සිදු කරනවා ඒ විතරද කුඩුත් විකුණනවා.”

“මම මිනී මැරුවා තමයි….

එලෙස පවසමින් ඔහු කොක්හඬලා සිනාසුනේය. එලෙස සිනහවෙමින් මගෙන් මෙලෙස විමසුවේය.

“ඒ මැරිලා ඉන්නේ අහිංසක මිනිස්සුද?”


යළිත් කෙහෙල්බද්දර පද්මේ කටහඬ අවදිකරමින් මෙලෙස පැවසුවේය…

“ඒ මැරුණේ අහිංසක මිනිස්සු නොවෙයි. මගේ තාත්තව මරපු අපරාධකාරයන්. ඒ කට්ටිය තමයි කප්පම් ගන්නේ කුඩු විකුණන්නෙ කුලියට මිනී මරන්නේ. මම කවදාවත් කුඩු විකුණලා නැහැ, කප්පම් අරගෙන නැහැ, කුලියට මිනී මරල නැහැ. මම ඕන කෙනෙකුට කියනවා පුළුවන්නං ඔප්පු කරල පෙන්නන්න ඒ වගේ වැඩ මම කරලා තියෙනවද කියලා. එහෙම ඔප්පු කළොත් මම ලංකාවට ඇවිත් පොලිසියට බාර වෙනවා. ජීවිතයටවත් මම ඒ වගේ වැඩ කරල නැහැ.”

“ඔය සේරම කරන්නේ සංජීව තමයි. මිනිහට ඕනේ පාතාලේ ගෝඩ් ෆාදර් කෙනෙක් වෙන්න. ඒ අහිංසක මිනිස්සුන්ව මරලා. සංජීව කවදාවත් චණ්ඩි එක්ක හැප්පුනේ නැහැ. සංජීව මම දන්නෙ 2010 ඉඳලා. මාත් එක්ක බටපොත ජිම් එකේ සෙල්ලම් කරා. එතකොටත් හොරකම් වගයක් කරලා හැංගි හැංගි හිටියේ. මම නම් දන්නේ නැහැ සංජීව චණ්ඩියෙක් කියලා.”

“ඒ කාලෙනම් සංජීව හොරෙක්. ආච්චි කෙනෙක් ගේ සාලයෝ 250 රොස් පාන් ගෙඩියයි මුලින්ම හොරකම් කළේ. බිස්කට් ලොරියක් මංකොල්ල කාලා 75000 ක් ගත්තා. ඊට පස්සේ කෝටි 07 ක මංකොල්ලයක් කළා. ඔය වගේ නඩු තමයි සංජීවට ඒ කාලේ තිබුණේ.”

“සංජීවට ඕනේ ගෝඩ් ෆාදර් කෙනෙක් වෙන්න කියලා නම් දන්නවා. ඒකට ඉතිං හේතුවක් වත් දන්නෙ නැති අහිංසක මිනිස්සුන්ව මරලා වැඩක් නැහැනෙ. ඔස්මන් එක්ක වුණත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ගම්පහ රජ වෙන්න හිතන් තමයි වෙඩි තිබ්බේ. ඒකවත් හරියට කරගන්න බැරි වුණා. කඩවත ගෑනු කෙනෙකුට වෙඩි තිබ්බා ලක්ෂ පහක් අරගෙන. ජා ඇළ ගෑනු කෙනෙක්ව මැරුවා කළු අජිත් කියලා වැරදිලා. කෙහෙල්බද්දර සැලූන් එකක වැඩ කරන අහිංසක කොල්ලෙකුට වෙඩි තිබ්බා. ගාල්ල පැත්තෙ තැඹිලි විකුණන අහිංසක මිනිසෙකුටත් වෙඩි තිබ්බා. තව බටපොත හාඩ්වෙයාර් එකක කොල්ලෙකුට කිසිම හේතුවක් නැතිව වෙඩි තිබ්බා. සීදූවේ දී කැඳ බීබි හිටිය අහිංසක කොල්ලෙකුටත් වෙඩි තිව්වා.”

“සංජීවට ම ගැළපෙන හරක් ටික තමයි සංජීව ළඟ ඉන්නේ. එතන ඉන්න දිනේෂ් කියන්නේ මාල කඩ කඩ හිටපු කෙනෙක්. පැට්ටා කියන්නේ ගංජා බීබි කුලී වැඩ කරපු කෙනෙක්. අලයා කියන්නේ පස් පොඩ්ඩා පස්සේ දිව්ව කෙනෙක්. හරියට ඉස්කෝලවත් ගිහිල්ලා නැහැ. සුරාජ් කියන්නේ තමන්ගේ තාත්තට ගහලා ගෙදරින් එලවන ජාතියෙ කෙනෙක්. මේ සේරම දැන් කරන්නේ කුඩු අයිස් ආදී මත්ද්‍රව්‍ය විකුණන එක. එලෙස මත්ද්‍රව්‍ය විකුණලා මේගොල්ලෝ සල්ලි හම්බ කරනවා. ඒ බිස්නස් එක කරන්න තමයි අහිංසක මිනිස්සුන්වත් මරලා දාන්නේ.”

“මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනම් නම් වටේ යන්න ඕන නැහැනේ මාව මරන්න තිබ්බනෙ. මාව මරන්න තරම් හයියක් උන්ට නැහැ. ඇත්තටම මට නම් ඔය එකෙක්වත් චන්ඩි නොවෙයි. මම තවම උගේ තැනට වැටිලා නැහැ. එහෙම වැටුන දාට උන්ටත් පවුල්වල ඉන්න ගෑනු ළමයි අම්මලා තාත්තාලා හංගගන්න වෙයි. අනික මම ඔස්මනුත් නොවෙයි. මම අකැමති හිරේ යන්න විතරයි ඒකයි මම ලංකාවේ ඉන්නැතුව ඩුබායි ආවෙ. නැත්නම් මේ එකෙකුටවත් බය නොවේ. මරණය කියන අකුරු හතරට මම නම් කොහෙත්ම බය නැහැ.”

“එතකොට ඔයා ඔස්මන්ගේ ගෝලයෙක්ද?”

මම ඔස්මන්ගේ ගෝලයෙක් නොවෙයි. ඔස්මන් කියන්නේ අපේ තාත්තගෙ යාළුවෙක්. අනික තමයි මට කාගෙවත් ගෝලයෙක් වෙන්න ඕනේ නැහැ. අද වෙනතුරු ඔය කාගෙන්වත් මම කිසිම උදව්වක් ඉල්ලලා නැහැ ඉදිරියේදී ඉල්ලන්නෙත් නැහැ. චන්ඩි තියෙන කාවවත් මම ගණන් ගන්නේ නැහැ. මගේ ගමන යන්න මම දන්නවා.”

“එතකොට හීනටියන මහේෂ් ඔබේ හොඳම ගෝලයෙක්. ඩුබායිවලටත් ඔබ ඔහුව ගෙන්න ගත්තා. මහේෂ් මොනවද දැන් කරන්නේ. මිනිස්සුන්ගෙ ජීවිතවලට තර්ජන කරනවා. කප්පං ගන්නවා.”

“මහේෂ් ඒ කාලේ මගේ යාළුවෙක් තමයි. එයා ඩුබායිවලට ඇවිල්ලා මට කෝල් එකක් දුන්නා. ඉන්න තැනක් නැහැ කියලා. මම ඒ කාලෙ හිටියෙ තනියම. මම මගේ තැනට එයාව ගෙන්න ගත්තා. මාස කීපයක් මගෙත් එක්ක එකට හිටියා. ඊට පස්සේ එයා යන පාර වැරදියි කියලා මට තේරුණා. මම ඒවට තදින්ම විරුද්ධ වුණා. ඊට පස්සේ මහේෂ් යන්න ගියා. දැන් මාස අටක් පමණ ඉඳන් මහේෂ්ගෙයි මගෙයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.එයා කරන කිසිම වැඩකට මම සම්බන්ධ නෑ.”

“ඔය මොනවා කිව්වත් ඔයාටත් ගෝලයෝ ඉන්නවා. ඒගොල්ලන්ව ජීවත් කරවන්නෙ කොහොමද? කුඩු විකුණන්නෙත් නැත්නම්, කප්පම් ගන්නෙත් නැත්නම් කොහෙන්ද ඔයාට සල්ලි.”

“මම අනිත් අය වගේ නෙමෙයි. මට සල්ලි තියෙනවා. ලංකාවේ මගේ ව්‍යාපාර තියෙනවා. ඊට අමතරව මම මෙහෙ ව්‍යාපාරයකටත් සල්ලි යොදවලා තියෙනවා. ඒ සල්ලි හොඳටම ඇති මගේ වැඩ ටික කරගන්න.”

අන්තිම පැනය ලෙස “පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ කවදද මේ පාතාල වැඩ නතර කරන්නේ.” යැයි විමසුවෙමි. එහිදී ඔහු පැවසුවේ “මම දැන් මේ වළට වැටිලා ඉවරයි. අපි බලමු…… ” ඉන්පසු ඔහුගේ මුවඟින් නැගුනේ හිනාවක් පමණි. ඒ හිනාව තුළ ලොකු අර්ථයක් ඇති බව වැටහුණි.

ගයාන් සමරසිංහ 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

බලු පැටවුන් දෙදෙනා යට කර ගිය කාර් එක මෙන්න [VIDEO]

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාගත ආදායමක් උපයලා | Sri Lanka Cricket