in ,

කාබයිඩ් දැමූ වැසිකිලි වල පුපුරා දුව ජිවිතක්ෂයට පත්වෙයි ,බිරිඳට දෙපා අහිමි වෙයි

toilet

වැඩිහිටියන් අපරීක්‍ෂාකාරීව සිදුකරන අනුවණ ක‍්‍රියා හේතුවෙන් බොහෝ විට අගතියට පත්වන්නේ දරුවන්ය. යමක් කිරීමට පෙර ඒ පිළිබඳව විමසා බලා නොකිරීමත්, කවරකු හෝ කී පමණින් ඒවා අත්හදා බැලීමට යෑමත් බොහෝ අවස්ථාවලදී කෙළවර වන්නේ ඛේදවාචකයකිනි.

එවන් තවත් ඛේදවාචකයක් ඉකුත් මැයි 30 දා ගම්පහ, නාරංවල ඉසිකිලිකන්ද ප‍්‍රදේශයේදී දැකගත හැකි විය. එය කෙළවර වූයේ තක්‍ෂිලා දිනුෂි නම් වූ 13 වියැති දියණියකට අවාසනාවන්ත ලෙස මරු කැඳවමින් හා ඇගේ මවට දෙපා අහිමි කරවමිනි.

තක්‍ෂිලා දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියාය. ගම්පහ, වැලිවේරිය මිහිඳු කනිෂ්ඨ විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන ඇයට තිබුණේ කාගේත් සිත් ඇදගන්නා ප‍්‍රියමනාප පෙනුමකි.

ඉගෙනුමෙහි ද සමත්කම් පෑ ඇය තම පියා කෙරෙහි වැඩි සෙනෙහසකින් සිටියාය.රාත‍්‍රියේ නිදා ගැනීමේදී පවා තම පියා සමග නින්දට යෑම ඇයගේ සිරිතක් වූ අතර දින කිහිපයකට පෙර නින්දට ගොස් අවදි වී තමා පෙරදින රාත‍්‍රියේ දුටු නරක සිහිනයක අඳුරු සේයාවක් ඇගේ පියා වන සුනිල් ඉදිරියේ දිගහරින්නට වුවාය.

තාත්තෙ මම ඊයෙ හීනෙන් දැක්කනෙ මම මැරිලා ඉන්නවා. අනපේක්‍ෂිතව තම දියණියගෙන් පිට වූ මෙම වදන් පෙළත් සමග රංජි තරමක නොසන්සුන්තාවකට පත් විය.

අනේ දුවේ හීනෙන්වත් ඔය වගේ දේවල් හිතන්න එපා. අපි ජීවතුන් අතර ඉන්න කල් ඔයා මැරෙන්නෙ කොහොමද? රංජි එසේ කීවත් ඔහුගේ යටි සිත තුළ කිසියම් අනතුරක සේයාවක් හොල්මන් නොකළාම නොවේ.

රංජිලාගේ පවුලේ තීරණාත්මක දිනය උදා වූයේ ඉකුත් 30 වැනිදාය. තාත්තේ ටොයිලට් වළෙන් මහා ගඳක් එනවා. ගේ ඇතුළෙවත් ඉන්න බෑ. මොකක් හරි කරන්නකො මේකට’’ රංජිගේ බිරිඳ චමිලා මෙන්ම දරුවන් සිව් දෙනාගෙන්ද නිරන්තරයෙන් පැවසූ අතර ඉකුත් 30 වැනිදා රංජි නගරයට ගොස් කාබයිට් කිලෝවක් රැගෙන ආවේය. මීට කලකට පෙර සිය මිතුරකුගේ නිවසේ මෙවැනි ප‍්‍රශ්නයකදී කාබයිඞ් ප‍්‍රයෝජනවත් වූ බව රංජිගේ මතකයේ තිබුණි. එහෙත් එක් දෙයක් රංජිට අතපසු විය. ඒ ඔහුගේ නොදැනුවත්කම නිසාය.

වැසිකිළි වළෙහි අත්තිවාරමේ ගලක් ගලවා ඉවත් කර කාබයිඩ්(Carbide) සියල්ල ඒ තුළට දමා ඉවත් කළ ගල නැවත සවි කිරීමට සුනිල් පියවර ගත්තේ ඒ නොදැනුවත්කම නිසාය. අනතුරුව සුපුරුදු පරිදි සුනිල් නිවස තුළට වී දරුවන් සමග කතා බහ කරමින් සිටියේය. සුනිල්ගේ බිරිඳ චමිලා ගෙමිදුලේ කසළ ගිනි තබමින් සිටියාය. චමිලා ගිනි තැබූ කසළ ගොඩ සහ වැසිකිළි වළ අතර දුර මීටර් දහයක් පමණ විය.

මේ අතර තක්‍ෂිලා සිටියේ වැසිකිළිවළේ කොන්ක‍්‍රීට් ලෑල්ල මතය.කාබයිඩ් යෙදීමෙන් වැසිකිළි වළ තුළ සිදුවන ප‍්‍රතික‍්‍රියාව ඇයට දැනුණේ නැත. ඉතා කුඩා බිම් කඩක පිහිටා තිබුණු සුනිල්ලාගේ නිවසේ දරුවන්ට සෙල්ලම් කිරීමට තරම් ගෙමිදුලක් තිබුණේ නැත. ඔවුන්ගේ කෙළිපිටිය වූයේ වැසිකිළි වළේ කොන්ක‍්‍රීට් ලෑල්ල හෝ ළිං පඩියයි.

කාබයිඩ් යොදා අඩපැයක් පමණ ගතවීමුත් තක්‍ෂිලා එම වැසිකිළි වළෙහි ලෑල්ල මතටම වී සිටියේ තවමත් වැසිකිළි වළෙන් දුගඳ හමන්නේ දැයි පරීක්‍ෂා කිරීමට විය හැකිය. එසේත් නැත්නම් ඇයගේ ජීවන ගමන අවසන් කිරීමට ස්වභාවධර්මයා තීරණය කර ඇති නිසා ඇයට එම මාරකයෙන් ඉවත් වීමට සිත් නොදුන්නා විය හැකිය.

කෙසේ හෝ සුනිල්ලාගේ පවුලේ දෙදරායාම ආරම්භ වූයේ කාබයිඩ් යොදා අඩපැයක් පමණ ගතවන විටය. එකවරම මුළු පළාතම දෙවනත් කරමින් පිපුරුමක් සිදුවිය. වැසිකිළි වළේ කොන්ක‍්‍රීට් ලෑල්ල කෑලි කෑලිවලට කැඞී මුළු පළාතටම විසි වී ගියේය. ඉන් කොටසක් එම ලෑල්ල මත සිටි තක්‍ෂිලාද සමගින් වැසිකිළිවළ තුළට වැටිණි. තවත් කොටසක් ගෙමිදුලේ කසළ පුළුස්සමින් සිටි සුනිල්ගේ බිරිඳ වන චමිලා සිටි ස්ථානයටද තවත් විශාල කොටසක් සුනිල්ගේ නිවසේ වහලයද කඩාගෙන නිදන ඇද මතටද පතිත විය.

අනපේක්‍ෂිතව සිදු වූ පිපිරීමෙන් තුෂ්නිම්භූත වූ රංජි අඩසිහියෙන්ම ගෙමිදුලට පැනගත් අතර එහිදී ඔහු දුටුවේ තම බිරිඳ බරපතළ තුවාල සහිතව ගෙමිදුලේ වැටී සිටි අයුරුයි. එසැණින් සුනිල්ට සිහිපත් වූයේ තක්‍ෂිලා වැසිකිළි ලෑල්ල මත සිටි බවයි. වහා එහි ගොස් වැසිකිළිවලට එබී බලද්දී තම ආදරණීය දියණියගේ දෙපා පමණක් වැසිකිළි වළේ උඩ අතට තිබෙනු දිස්විය. එසැණින් පිරිස පැමිණ තක්‍ෂිලා ගොඩගෙන පිරිසිදු කර ඇයගේ මවද සම`ගම රෝහල වෙත රැගෙන ගියත් ඒ වන විටත් තක්‍ෂිලා දිවියට සමු දී තිබුණී.

දියණියගේ දේහය වැළඳගෙන හඬා වැටෙමින් සිටි සුනිල්ට එකවරම තම බිරිඳ සිහිපත් වී ඇය සොයා ගියේය. එහිදී සුනිල් දැනගත්තේ ඇගේ දෙපාවලට බරපතළ හානි සිදු වී ඇති බවයි. චමිලාගේ ජීවිතය බේරා ගැනීමට නම් ඇගේ දෙපා ඉවත් කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය විය. සුනිල් තව තවත් අසරණ විය. තම දහඩිය, කඳුළු මතින් වසර දහතුනක් තිස්සේ උස් මහත් කළ ආදරණීය දියණිය අහිමි වීමටත්, දශක ගණනාවක් තමා සමගින් එකට දුක, සැප බෙදා ගනිමින් දූ දරුවන් සිව් දෙනකුගේ පිය සෙනෙහස ලබන්නට තමාට වාසනාව උදාකර දුන් තම සෙනෙහෙබර බිරිඳට දෙපා අහිමි කිරීමටත් තමාගේ සුළු අතපසුවීමක් සමත් වූවා නොවේදැයි සුනිල්ගේ හදවත විලාප දෙමින් ප‍්‍රශ්න කළේය.

ඇයි සුනිල් උඹ ලැට් වළට කාබයිඩ් දාලා එක වැහුවේ. කාබයිඩ් දැම්මා නම් වළ ඇරලා තියන්න එපා යැ. ඇරත් ඔච්චර ගොඩක් කාබයිට් වළකට දාන්නේ නැහැනෙ බං. බලපන්කෝ උඹ කරගත්ත විනාසෙක තරම සුනිල්ගේ මිතුරන් ඔහුව අස්වසාලමින් එසේ පවසද්දී තමාගේ අතපසුවීම අවබෝධ කර ගැනීමට ඔහු සමත් වුවත් ඒ වනවිටත් සුනිල් හොඳටෝම ප‍්‍රමාද වැඩිය.

දුප්පත්කම උපතින්ම උරුම කරගෙන උපන් රංජිත් පවුලේ ඉතිරි වූ දරු තිදෙනාත් අද කොතරම් අසරණද? වඩු කර්මාන්තයෙන් ජීවිතය ගැටගසා ගත් සුනිල්ට චමිලාගෙන් ලැබුණු තල්ලූව සුළු පටු නොවේ. ඈ දිනපතාම සුනිල්ට බත්මුලක් සකසා දී දරුවන් පාසල් ඇරලවා නිවසෙන් පිටවන්නේ දෙල්ගොඩ නගරයට වී ලොතරැයි අලෙවි කිරීමටයි. එම ලොතරැයි අලෙවියෙන් ලැබෙන සොච්චම් ආදායමෙන් ගෙදරට අත්‍යවශ්‍ය කළමනා ටික මිලදී ගෙන බිම්කරුවල වැටෙත්ම චමිලා ගෙදරට පැමිණෙන්නේය. එසේ පැමිණ රාත‍්‍රි ආහාරයට යමක් සූදානම් කරන චමිලා කඩිමුඩියේ ම දරුවන්ගේ පාසල් වැඩ ආදියද පරීක්‍ෂා කිරීමට අමතක නොකළාය.

දැන් සියල්ල කණපිට හැරී ඇත. සුනිල්ට දරු තිදෙනකු නඩත්තු කරමින්, ඔවුන්ට රැකවරණය දීමට ද සිදු වී ඇත. උතුරා යන පිය සෙනෙහස අඩුවක් නැතිව තිබුණත් ඊට සරිලන ආර්ථිකයක් සුනිල්ට නැත. එහෙත් සුනිල්ගේ අධිෂ්ඨානය නම් ඔවුන්ගේ නිවස අසල ඇති ඉසිකිලි කන්දට වඩා සවිමත්ය. මම කොහොම හරි දරුවෝ තුන්දෙනාත් එක්ක ජීවත් වෙනවා මහත්තයෝ. මම හැමදෙයක්ම කරන්න කලින් ගොඩක් හිතනවා. ඒත් මෙතෙන්දී මට වැරදුනානේ. පොඩි වැරදීමකින් මට දරුවායි චමිළයි දෙන්නම නැති වුණානේ. ඒ සුනිල්ගේ හදවත දෝංකාර දෙන රාවයයි. ඒ රාවය හරහා ගලායන ශෝකාලාපය අපට කියන්නේ යමක් කරන්නට පෙර නැවත නැවතත් සිතා බැලිය යුතු බව නොවේද?


වැසිකිලි වළ පිපුරුණේ කොහොමද?

මෙම අනතුර සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්වූ ගම්පහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දීපාල් ප‍්‍රනාන්දු මහතාගේ විග‍්‍රහය මෙසේය.

කාබයිට් යනු (කැල්සියම් කාබයිඩ් – CaC2) සුදු පැහැති රසායනික සංයෝගයකි. එය බහුලව කාර්මික කටයුතු වලදී පෑස්සීම් සඳහා සහ පලතුරු(කෙසෙල්) කෘතිමව ඉදවීමට භාවිතා කරයි. එහිදී කාබයිඞ් ජලය සමග ප‍්‍රතිකි‍්‍රයා කර ‘‘ඇසිටිලීන්’’ නම් හයිඩ්‍රොකාබනයක් වන (ඉන්ධනයක්) අස්ථායී වායුව සහ කාබයිට් අළු නමැති අතුරු ඵලය සෑදීම සිදුවෙයි.

CaC2 + 2H2O – C2H2 + Ca(OH)2

ඉහත ප‍්‍රතිකි‍්‍රයාවට අනුව ඇසිටිලීන් නිපදවීමේදී හටගන්නා තාපය නිසාම අස්ථායී ඇසිටිලීන් හයිඩ්‍රොකාබන ඉන්ධනය ගිනි ගැනීමට ලක්ව ක්‍ෂණික තාපදායී ප‍්‍රතිකි‍්‍රයාවක් සිදුවී විශාල ශක්ති ප‍්‍රමාණයක් අවට අවකාශයට පිට කරමින් පුපුරා යෑමට පුළුවන.

සාමාන්‍යයෙන් කාබයිඞ්, ජලය සමග ප‍්‍රතිකි‍්‍රයා කර සෑදෙන අතුරුඵලය වන කාබයිඞ් අළු වැසිකිළිි වළවලට දැමීම සිදුකරනු ලබයි. එසේ කිරීමෙන් ඉන් පිටවන දුර්ගන්ධය අභිබවා මෙම කාබයිඞ් අළු කි‍්‍රයා කිරීමත්, කාබයිඞ් අළු නිසා එහි සිටින මදුරුවන් හා මදුරු කීටයන් වැනි කෘමීන් විනාශ වන බවටත් උපකල්පනය කරනු ලැබේ.

ඉහත අනතුර සිදුවූ අවස්ථාවට අනුරූපීව කාබයිඞ් අළු වෙනුවට නොදැනුවත්කම නිසා කාබයිඞ් යෙදීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුවී ඇත. එසේම වැසිකිළි වළට නුදුරින් ගිනි ගොඩක් දැල්වීමෙන් අනතුර සිදුවීමට විශාල පිටිවහලක් ලබා දී ඇත.

-දිවයින

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප්‍රදේශ කිහිපයක අහසේ සැරිසැරූ හඳුනා නොගත් යානයේ වීඩියෝව

සිරස TV නිවේදක මංජු තේනුවර පැවිදි දිවියට පත්වීමේ මහා පිංකම[VIDEO]