in , ,

‘ඉස්ලාම් ජමාත්’ සාමාජිකයන්ගෙන් කොරෝනා ආසාදිතයන්ට රුධිර ප්ලාස්මා පරිත්‍යාගයක්

blood donation

ඉන්දියාවේ ඉස්ලාමීය සංවිධානයක සාමාජිකයෝ කොරෝනාවෛරසය (Covid-19) ආසාදිතයන්ට අවශ්‍ය රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය වෙනුවෙන් ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිති.

ඔවුන් එවැනි පියවරක් ගනු ලබන්නේ ඉන්දියාව පුරා කොරෝනාවෛරසය සමාජ පොකුරු වශයෙන් පැතිර යාමට එම ඉස්ලාමීය සංවිධානයේ රැස්වීමක් හේතු වූ බවට විවේචන එල්ල වී තිබුණ පසුබිමක් යටතේය.

ඉන්දියාවේ කොරෝනාවෛරස් ආසාදනය වීම් දහසකට අධික සංඛ්‍යාවකට ඉහත ‘ටබ්ලිඝි ජමාට්’ (Tablighi Jamaat) ඉස්ලාමීය සංවිධානයේ ජනහමුව සම්බන්ධ කෙරෙයි.

එපමණක් නොව, එය ඉන්දියාව පුරා ඉස්ලාම් භීතියට අදාළ වාර්තා පැතිර යාමටත්, එමගින් දැවැන්ත මහජන කෝපයක් පැන නැගීමටත් මුල් විය.

ප්ලාස්මා ප්‍රතිකාරයේදී සිදු කෙරෙන්නේ, වෛරස්වලට ඔරොත්තු දීමේ ශක්තිය සහිත රුධිරය කොරෝනාවෛරසය ආසාදිත රෝගීන්ට ශරීරගත කිරීමට උපයෝගී කර ගැනීමය.

‘ටබ්ලිඝි ජමාට්’ (Tablighi Jamaat) ඉස්ලාමීය සංවිධානයේ දිල්ලි ජනහමුවට කෙලින් ම සම්බන්ධ පොකුරු මට්ටමින් ආසාදනය වීම් අනාවරණය වීමත් සමග එම සංවිධානයට මෙන් ම පොදුවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව විශාල පරිමාණයේ මහජන විරෝධයක් පළ විය.

Covid-19 වෛරසය පැතිර යාම වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් ඉන්දියාව ‘අගුළු දැමීමේ’ (lockdown) තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු සමුළුවක් කැඳවීම සහ සිය ගණනක් සාමාජිකයන් එකට රැස් කරනු ලැබීම මගින් ‘ටබ්ලිඝි ජමාට්’ (Tablighi Jamaat) ඉස්ලාමීය සංවිධානය ආණ්ඩුවේ නියෝග දෙකක් නොතකා කටයුතු කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

එම ප්‍රකාශයෙන් පසු පොලිසිය ‘ටබ්ලිඝි ජමාට්’ නායක මොහොමඩ් සාද් කන්දලාවිට (Mohammed Saad Kandhlawi) එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනා යටතේ නඩුවක් ගොනු කරනු ලැබ ඇත.

‘ටබ්ලිඝි ජමාට්’ ඉස්ලාමීය සංවිධානයේ රැස්වීමෙන් පසු ඉන්දියාවේ බොහෝ පළාත්වල මුස්ලිම් ජනයාට හිංසා පීඩාවන්ට ගොදුරු වීමට සිදු වූ බවක් ද වාර්තා විය.

‘ටබ්ලිඝි ජමාට්’ සාමාජිකයන් “වෛරස්කරුවන්” ලෙස මෙන් ම “කොරෝනාවෛරස් ප්‍රවාහකයන්” ලෙස ද හංවඩු ගසනු ලබන ප්‍රකාශන සමාජ මාධ්‍ය ජාලයෙහි වේගයෙන් හුවමාරු වන්නට විය.

”කොරෝන්ජිහාඩ්” වැනි හැෂ්ටෑගයන්හි (Hashtags) ‘ටබ්ලිඝි ජමාට්’ සාමාජිකයන් හඳුන්වා තිබුණේ, වෛරසය සිතාමතා ම තමන්ට බෝ කර ගනිමින්, අනතුරුව ජනාකීර්ණ ස්ථානයන්හි සැරිසරමින් එය සෙසු ජනයා අතර ද බෙදාහරින්නන් හැටියටය. ඔවුන්ගේ එම ක්‍රියාව ”මරාගෙන මැරෙන බෝම්බකරුවන්” හැසිරෙන විලාසය සමග සමාන කර තිබිණි.

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන එම නිමක් නොමැති ප්‍රහාරවලට එරෙහිව පසුගිය සතියෙහි එක්සත් අරාබි එමීරය තුළ දැඩි ප්‍රතිචාරයක් පළවෙමින් තිබිණි.

එම ප්‍රතිචාරය පළවුණේ ඉන්දියාවේ අනාගමික පිළිවෙත සමාජ මාධ්‍ය ජාලය මට්ටමින් බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කරනු ලැබීමත් සමගය.

උද්ගත වෙමින් පැවති තත්ත්වය හමුවේ ”වෛරසය ආගමක් නොහඳුනන බව” පෙන්වා දෙමින්, මහජන එකමුතුභාවය ඉල්ලා ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කිරීමට අගමැති නරේන්ද්‍ර මෝඩිට සිදුවිය.

ප්ලාස්මා ප්‍රතිකාරය සිදුකෙරෙන ආකාරය

යම්කිසි පුද්ගලයෙකුට Covid-19 වෛරසය ආසාදනය වූ විට ඔහුගේ හෝ ඇයගේ සිරුරෙහි ප්‍රතිශක්ති ක්‍රියාවලිය ඊට ප්‍රතිචාර දක්වනුයේ වෛරසය සමග සටන් වදින ප්‍රතිදේහ (antibodies) නිර්මාණය කිරීමෙනි.

එවැනි නියමිත ශාරීරික ක්‍රියාදාමයකින් පසු දියාරුමය රුධිර පදාර්ථයක් වූ ‘රුධිර ප්ලාස්මා’ ලබා ගත හැකි වෙයි.

කෙසේ වුව ද, ඉන්දියාවත් ඇතුළු බොහෝ රටවල එම ප්ලාස්මා ප්‍රතිකාරය තවමත් පවතින්නේ අත්හදා බැලීමේ අදියරයෙහිය. පුළුල් මට්ටමින් ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබීමට පෙර එය රෝගී අවස්ථා කීපයකදී පමණක් භාවිතයට ගනු ලැබෙයි.

‘ප්ලාස්මා’ ප්‍රතිකාරය සඳහා යොදා ගත් බරපතළ මට්ටමේ සිටි ඇතැම් රෝගීන් සුවය ලබමින් සිටීමත් සමග එම ප්‍රතිකාරය මගින් “දිරි ගැන්වෙන ප්‍රතිඵල” ලබා ඇතැයි රෝහල් කීපයක් ප්‍රකාශ කර ඇත.

එහෙත් එම ප්‍රතිකාරය ”ඓන්ද්‍රජාලික විසඳුමක්” නොවනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු ඇඟවීමක් ද කරති.

“අපි දැනට රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය ලබා දෙන්නේ බරපතළ මට්ටමින් කොරෝනාවෛරසයට ගොදුරු වී සිටින, ඒ වගේ ම වෛරසය සමග පොර බැදීම සඳහා ප්‍රතිශක්තිකාරක ප්‍රතිදේහ නිර්මාණය කිරීමට හැකි මට්ටමක නොසිටින රෝගීන්ට පමණයි. මොක ද? ඒ රෝගීන් දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වගේ බරපතළ වෙනත් රෝගාබාධවලින් පෙළෙන නිසා,” වෛද්‍ය ටවුසීෆ් ඛාන් (Dr Tauseef Khan) පවසයි.

වෛද්‍ය ටවුසීෆ් ඛාන් ඉන්දියාවේ ලක්නව්හි රජයේ රෝහලක වෛරස් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන අංශයක ප්‍රතිකාර කිරීමේ නිරත වෙයි.

‘ටබ්ලිඝි ජමාට්’ සාමාජිකයන්ගේ මතය

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් පැමිණි ෆාරුක් බාසා (Farooq Basa) ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියෙහි පළමු දිනය වූ පසුගිය ඉරිදා, ස්වේච්ඡාවෙන් රුධිර ප්ලාස්මා පරිත්‍යාග කළ පළමු ‘ටබ්ලිඝි ජමාට්’ ඉස්ලාමීය සාමාජිකයන් දහ දෙනා අතර විය.

“අපේ සංවිධානයේ ඇතැමුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට රෝග විනිශ්චය වීමත් එක්ක මාධ්‍ය මගින් අපේ කණ්ඩායම නපුරු මිනිසුන් කොටසක් හැටියට හංවඩු ගසනු ලැබුවා. නමුත් අල්ලා දෙවියන්ගේ කරුණාවේ නාමයෙන් අපේ ප්‍රතිරූපය නැවත නංවා ගැනීමට අපට උදව්වක් ලැබුණා,” ෆාරුක් බාසා බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේය.

අනාස් සයිඩ් (Anas Sayed)ඉරිදා පැවැත්වුණු ලේ පරිත්‍යාග කිරීමේ දිනයේදී සිය රුධිරය දන්දුන් තවත් ‘ජමාට්’ සාමාජිකයෙකි.

“සියලු දෙනා ම අපි පිටිපස්සේ ලුහු බඳිමින් සිටිද්දී අපට දුෂ්කර සති කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෛරසය ව්‍යාප්ත කිරීමේ පාපය පැටවුණේ අපේ කරපිට. ලේ පරිතාග කරන ලෙස ‘මවුලානා’ ඉල්ලීමක් කළා ම අපි ඊට ස්වේච්ඡාවෙන් එකඟ වුණා,” අනාස් සයිඩ් පවසයි.

වෛද්‍ය ෂොයිබ් අලි (Dr Shoaib Ali) මෙම ස්වේච්ඡා ව්‍යාපෘතියේ ඉදිරිපෙළ ක්‍රියාධරයෙකි.

“කොරෝනාවෛරසය ආසාදිතව සුවය ලද 300-400ත් අතර ‘ජමාට්’ සාමාජිකයන් පිරිසක් දිල්ලි නගරයේදී පමණක් ඉදිරි දින කීපය තුළ රුධිරය පරිත්‍යාග කරනු ඇතැයි,” වෛද්‍ය ෂොයිබ් අලි සිය විශ්වාසය තබයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා, ‘ජමාට්’ සාමාජිකයන් පුරවැසියන් හැටියට ඔවුන්ගේ යුතුකමක් ඉටුකරන බව පවසමින්, දැනට සිදු කෙරෙමින් පවතින වෛරස් පාලන වැඩ පිළිවෙළට හානි කිරීමේ සැලැස්මක් ඔවුන් තුළ ඇති බවට කෙරෙන ප්‍රකාශන බැහැර කිරීමක් ද කළේය.

“මේ මිනිස්සු ලේ පරිත්‍යාග කිරීම සඳහා පෙරට ආවේ ඔවුන් දෙවියන් කෙරෙහි ඇති ගෞරවය සහ පරිත්‍යාගශීලීභාවයේ යහපත පිළිබඳව පවතින අවබෝධය නිසා වෙන්න පුළුවන්,” වෛද්‍ය ෂොයිබ් අලි අදහස් කරයි.

‘ටබ්ලිඝි ජමාට්’ ඉස්ලාමීය සංවිධානයේ සාමාජිකයන් විසින් පරිත්‍යාග කරනු ලබන රුධිර ප්ලාස්මා හින්දු ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට ඉඩකඩ ඇති බවට, මේ අතර සැකයක් ද මතුවෙමින් පවතී.

එවැනි තත්ත්වයක් හමුවෙහි දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල්ට (Aravind Kejriwal) පහත දැක්වෙන ප්‍රකාශය කිරීමට සිදුවිය.

“දෙවියන් මිහිතලය මවන ලද අවස්ථාවේ මනුෂ්‍ය වර්ගයාත් මවනු ලැබුවා. හැම මනුෂ්‍යයෙකුට ම ඇස් දෙකයි. එක ශරීරයයි. ඔවුන් හැම දෙනාගේ ම ලේ සහ ප්ලාස්මා රතු පාටයි.”

මෙම ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව, රුධිර ප්ලාස්මා ප්‍රතිකාරය සිදු කෙරෙනු ඇද්ද? කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කර තිබේ ද? යන්න පැහැදිලි නැත.

-BBC sinhala

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

බ්‍රිතාන්‍ය අගමැතිගේ දරුවාට නම් තැබීමට කොරෝනා වෛරසය සම්බන්ධ වෙයි

2019 වසරේදී ලංකාවේ එක් අයෙක් සහල් කිලෝ 149 ක් ගිලලා