in

ආනන්ද සිසුවාගේ සපත්තුව ඇතුළේ නයි පැටියෙක් ; බේරුණේ නූලෙන්

cobra

 කොළඹ ආනන්ද විද්‍යාලයේ දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැලඳ සිටි සපත්තුවක් ඇතුළත කුඩා නයි පැටියකු සිට හමුවීමේ සිද්ධියක් ඊයේ (අගෝ 23) උදෑසන වාර්තා විය.

උදෑසන 5.50ට පමණ පැමිණෙන පාසල් වෑන් රථය වෙත දිව යෑමට පාසල් සිසුවා කලබලයෙන් මෙන් සපත්තුව පැලඳගෙන නිවෙසින් පිටතට වෙනදා මෙන් ඊයේත් (23) පැමිණ තිබේ. ඔහු දිවගොස් පාසල් වෑන් රථයට ඇතුළු වූයේ කොළඹ ආනන්ද විද්‍යාලය වෙත යෑමටය. අට වසරෙහි ඉගෙනුම ලබන ඔහු වෑන් රථයට නැඟ වෙනදා මෙන් වාඩි වී පාසල වෙත යෑමට ගමන ආරම්භ කළේය. ටික දුරක් යන විට සපත්තුව පැලඳ සිටි දකුණු කකුල ඇතුළතින් ඉදිකටුවකින් විදිනවා වැනි යමක් සිසුවාට දැනී තිබේ. පැය බාගයක් පමණ ඒ දේ දැනුණත් ඔහු පාසලේ පන්ති කාමරයට යන තෙක් සපත්තුව ගලවා නැත. පන්ති කාමරයට ගොස් සපත්තුව ගලවන විට එතුළින් කුඩා නයි පැටවකු එළියට පැමිණ ඇත. අඟල් හතක් පමණ දිග නයි පැටියා දරුවාගේ කකුල සීරීමක් සිදු කර තිබේ. එසේ සීරීම සිදු කරන විට දරුවාට ඉඳිකටුවකින් වගේ අනිනවා දැනී ඇත. පන්ති කාමරයේ සෙසු දරුවන් මේ සිද්ධිය දැක්ක ද රබර් නයකු යැයි කියා සිතා තිබේ. නමුත් මේ සිදුවීම පාසලේ ගුරුවරුන් වෙත දැනුම් දුන් විට දරුවාව වහාම රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නයි විස දරුවාට ශරීරගත වී නැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවය. පැය 24ක් රෝහල තුළ නේවාසිකව තබා ගනිමින් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය විමර්ශනය කරන බවත් දරුවා ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දරුවාගේ මවගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට ඇය කියා සිටියේ වෙනදා සපත්තු ගසා දමා පැලඳීම සිදු කරන බවය. නමුත් මෙදින ප්‍රමාද වූ නිසා එසේ සිදු කිරීමට නොහැකි වූ බවත් නිවෙස තුළට සතකු පැමිණීමට ඉඩක් නොතිබුණ ද, කෙසේ හෝ මේ සිද්ධියට මුහුණදීමට සිදු වූ බවත් ඇය පැවසුවාය.

සපත්තුවක් පැලඳීමට පෙර ඒවා ඇතුළත මනාව පරීක්ෂා කර පැලඳීම සඳහා දරුවන් හුරු කරවීමට මව්පිය වැඩිහිටියන් පියවර ගත යුතු යැයි ද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඇෆ්ගනිස්තානය අල්ලාගෙන වසරයි ; තලෙයිබාන්වරු වීදි බැස ජය සමරති

yehali sangakkara

කුමාර් හොඳම බැට්ස්මන් කළේ ජේසු – සංගක්කාරගේ බිරිය [VIDEO]