
උඩු රැවුලක් වවාගත් ඉන්දියානු කාන්තාවක් අන්තර්ජාලය හරහා ඇගයීමට ද උපහාසයට ද ලක්ව ඇත. නමුත් ඇය පවසන්නේ ඒ කිසිවකින් තමා නොසැලෙන බව යි.
“මම මගේ උඩු රැවුලට ආදරෙයි,” 35 හැවිරිදි ෂයිජා ඇගේ වට්ස්ඇප් ස්ටේටස් එකෙහි සිය පින්තූරයක් ද සමඟ පළකර තිබේ.

ෆේස්බුක් එකේ මෙන්ම එදිනෙදා හමුවන අය ද ඇගෙන් විමසන්නේ එකම ප්‍රශ්නයකි: “ඇයි උඩු රැවුලක් වවන්නේ?”
“මට කියන්න පුළුවන් එකම දේ මම ඒකට ගොඩක් කැමතියි කියන එක විතරයි,” ඇය පවසයි.-
එක් නමක් පමණක් භාවිතා කරන ෂයිජා ජීවත් වන්නේ දකුණු කේරළ ප්‍රාන්තයේ කන්නූර් දිස්ත්‍රික්කයේ ය. බොහෝ කාන්තාවන්ගේ මෙන් ඇගේ ද උඩු තොලට ඉහළින් රෝම පිහිටියේ වසර ගණනාවක සිට ය.
නිතිපතා ඇහිබැම සකස්කර ගන්නා ඇය පවසන්නේ තම උඩුතොලට ඉහළින් ඇති රෝම ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇයට කිසි දිනෙක දැනී නැති බව යි.
මීට වසර පහකට පමණ පෙර මෙම රෝම රොද කැපී පෙනෙන උඩු රැවුලක් බවට පත්වීමට පටන්ගත් අතර ඉන් සතුටට පත් ෂයිජා එය ඉවත් නොකිරීමට තීරණය කළා ය.
“මට දැන් ඒක නැතුව ජීවත්වෙන එකත් හිතාගන්න බැහැ. කොවිඩ් වසංගතය ආරම්භ වුණාම මගේ මුහුණ වැහෙන නිසා මම මාස්ක් දාන්න කැමති වුණේ නැහැ,” ඇය පවසයි.
ඇය දුටු බොහෝ දෙනෙකු උඩු රැවුල කපා දමන ලෙස ඉල්ලා සිටිය ද ෂයිජා එය ප්‍රතික්ෂේප කළා ය.
“මේක තියෙන එකෙන්වත් මගේ ලස්සනට බලපෑමක් වෙනවා කියලාවත්, මේක මට නොතියෙන්න ඕනේ එකක් කියලාවත් මම නම් හිතන්නේ නැහැ”
කාන්තාවන්ට නිතරම අසන්නට ලැබෙන්නේ ඔවුන්ගේ මුහුණේ රෝම පැවතීම නුසුදුසු බවත්, නිතිපතා ඉවත්කළ යුතු හෝ හැඩකළ යුතු බවත් ය. මේ සඳහා වන ක්‍රීම්, වැක්ස්, රේසර් යනාදී විවිධ නිෂ්පාදන සමඟ බිලියන ගණනක කර්මාන්ත වපසරියක් බිහිව තිබේ.
නමුත් මෑත වසරවල දී බොහෝ කාන්තාවන් තම මුහුණේ රෝම පිළිබඳව ආඩම්බර වෙමින් එම සම්මතයට පටහැනිව යාමට පෙළඹී ඇත.
2016 දී ශරීරය පිළිබඳ ධනාත්මක අදහස් ප්‍රචාරය කරන ව්‍යාපාරයක යෙදෙන හර්නාම් කවූර් සම්පූර්ණ රැවුලක් ඇති ලොව ලාබාලතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ද එක්වූවා ය. මාධ්‍ය සාකච්ඡාවල දී ඇය නිතරම පවසා සිටියේ ඇගේ මුහුණේ රෝම පිළිබඳ සමාජ අදහස් හමුවේ තමාටම ආදරය කිරීමට ඉගෙන ගැනීමට අවස්ථාවක් උදාවී ඇති ආකාරය ගැන ය.
ෂයිජා පවසන ආකාරයට උඩු රැවුල යනු වෙළඳ අයිතමයක් නොව, තමාගේ සිරුරේ තවත් කොටසක් පමණි.
“මට හිතෙන දේ මම කරනවා. මට ජීවිත දෙකක් තිබුණා නම් සමහරවිට මම එයින් එකක් අනිත් අයට ඕන විදියට ගෙවාවි,” ඇය කියයි.
ෂයිජාගේ මෙම මනෝභාවය පැමිණෙන්නේ වසර ගණනාවක් තිස්සේ විවිධ සෞඛ්‍ය ගැටළුවලට මුහුණදීමෙන් ද පසුව ය. ඇය දශකයක් තුළ දී සැත්කම් හයකට මුහුණ දී ඇති අතර, පියයුරුවල ගැටිත්තක් ඉවත් කිරීම, ඩිම්බකෝෂයේ ගෙඩි ඉවත් කිරීම ද ඒ අතර විය. මීට වසර පහකට පෙර කළ ඇයගේ අවසන් ශල්‍යකර්මය වූයේ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකි.
“ශල්‍යකර්මයක් ඉවර වෙලා එළියට එද්දි මම ප්‍රාර්ථනා කරන්නෙ ආයෙ නම් ඒක ඇතුළට යන්න ලැබෙන්න එපා කියලා,” ඇය කියයි.
සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණදීමත් සමඟ, තම ජීවිතය තමාට සතුටක් දැනෙන ලෙස ගෙවිය යුතු බවට වන ඇගේ අදහස තවත් ශක්තිමත් විය.
තමා කුඩාකල ලැජ්ජාශීලී දැරිවියක වූ බව ෂයිජා පවසයි. ඈ හැදී වැඩුණු ගම්මානයේ කාන්තාවන් සවස 6න් පසු නිවසින් බැහැරට නොයයි.
කේරළය ඉහළ සංවර්ධන දර්ශක සහිත, ඉන්දියාවේ වඩාත්ම ප්‍රගතිශීලී ප්‍රාන්තවලින් එකක් වුව ද බොහෝ ප්‍රදේශවල පීතෘමූලික ආකල්ප පවතින අතර, කාන්තාවන් තනිව සංචාරය කිරීමෙන් හෝ තනිව ජීවත්වීමෙන් අධෛර්යයමත් කෙරේ.
ඇය විවාහ වී අසල්වැසි ප්‍රාන්තයක් වන තමිල්නාඩුවට ගිය විට ඇයට නව ආකාරයක නිදහසක් සොයාගැනීමට හැකි වූ බව ෂයිජා පවසයි.
“මගේ මහත්තයා වැඩට ගිහින් ආපහු එන්න පරක්කු වෙනවා. ඒ නිසා මම හවසට ගෙදර එළියේ ඉඳගෙන ඉන්නවා. සමහර වෙලාවට මට මොනවා හරි අවශ්‍ය වුණොත් මම තනියම රෑට කඩේට යනවා. කවුරුත් ඒකට මුකුත් කියන්නේ නැහැ. මම මගේ දේවල් කරන්න ඉගෙන ගත්ත නිසා මට ආත්ම විශ්වාසය ඇති වුණා,” ඇය පවසයි. ඇයට දැන් අවශ්‍ය මෙම ආකල්පය තම යොවුන් වියේ දියණිය වෙත ද ලබා දීමට ය.
ෂයිජාගේ පවුලේ අය සහ මිතුරන් ඇගේ උඩු රැවුල වැවීමට සහයෝගය දක්වා ඇත. එය ඇයට හොඳින් ගැලපෙන බව ඇගේ දියණිය නිතර ඇයට පවසයි.

නමුත් ෂයිජා පවසන්නේ මඟතොටේ දී තමා දකින පුද්ගලයින්ගෙන් නොයෙක් ආකාරයේ ප්‍රකාශ ඇයට ඇසී ඇති බව යි.
“උඩු රැවුල තියෙන්නේ පිරිමින්ට, ඇයි ගෑණියෙක්ට උඩු රැවුල තියෙන්නේ කියලා මිනිස්සු මට විහිළු කරනවා,” ඇය පවසයි.
වසර ගණනාවක් පුරා, ඇය කිහිපවිටක්ම දේශීය මාධ්‍ය වාර්තාවල පුවතක් වූවා ය. ඇය පවසන පරිදි, මෑතකදී ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතනයක් ඇය පිළිබඳව ෆේස්බුක්හි ලියා තිබූ ලිපියකට උපහාසාත්මක කමෙන්ට් ලැබී තිබුණි.
එක් අයෙක් අසා තිබුණේ පැහැදිලිව ඇහිබැම සකසා තිබුණත් උඩු රැවුල සකසාගන්නට රේසරයක් සොයා ගැනීමට නොහැකිවූවාදැ යි කියා ය.
“ඒක තියාගන්නවාද නැද්ද කියන එක මගේ කැමැත්තට අනුව වෙන්න ඕන දෙයක් නෙවෙයිද?” ඇය විමසයි.
ෂයිජාගේ මිතුරන් එම කමෙන්ට්වලට විරුද්ධව පිළිතුරු දෙන නමුත් ඇය පවසන්නේ ඇයට ඒවායෙන් ගණනක් නැති බව යි.
“සමහර වෙලාවට මම ඒවා කියවලා ඒවාට හිනා වෙනවා.”
-BBC